Monday, January 6, 2025

General line - 0115112241

විශ්වාසභංගයෙන් පසු ශ්‍රීලනිපයේ ගමන ගැන පක්ෂ මූලස්ථානයේදී දුන් ඉඟිය

ලහිරු කපුගේ




අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (04) පැවැති විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමතිවරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම පක්ෂ මූලස්ථානයේදී අද (05) පැවැත් වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කණ්ඩායමට කිසිඳු අදහසක් හෝ බලපෑමක් සිදු නොකළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ගෙන් ඇතැම් පිරිස් අගමැතිට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කළ අතර තවත් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේදී පැමිණ සිටියේ නැහැ.

කෙසේවෙතත් මේ සියලු පිරිස් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යනු ඇති බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේ. 

විශ්වාසභංග යෝජනාවට, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව සමග සිටින කණ්ඩායමේ නියෝජිතයන් 4 දෙනෙකුද අත්සන් තබා තිබුණා. එහෙත් ඔවුන්ගෙන් දෙදෙනෙකු ඊයේ රාති‍්‍රයේ පැවති ඡන්ද විමසීමට පැමිණ නොසිටීම විශේෂත්වයක්. ඒ, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තාන් මන්තී‍්‍රවරයායි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ඒ එච් එම් ෆවුසි, ආචාර්ය සරත් අමුණුගම, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණිද සොයිසා සහ පියසේන ගමගේ ඡන්දයට නොපැමිණි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙක්. 

මේ අතර ශ්‍රීලනිපය කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකු විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නා. ඒ, දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි සහ ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න යන හය දෙනායි.  විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන් රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ටී බී ඒකනායක, ඩිලාන් පෙරේරා සහ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ යන අයයි. 

අනුරාධ ජයරත්න, සුමේධා ජී ජයසේන, සුසන්ත පුංචි නිලමේ, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා සහ තාරානාත් බස්නායක විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වනවා. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලද ඡන්දය ලබාදුන්නේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවයි. 

සබැඳි පුවත් -  (විශ්වාසභංගයේ පරාජයෙන් පසු පිටව ගිය මැතිඇමතිවරු කිව්ව කතා (VIDEO))