Monday, January 6, 2025

General line - 0115112241

අගමැතිට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් ජනපති හමුවී ඉදිරිය ගැන තීරණයක් ගනී

ලහිරු කපුගේ




අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (04) පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් අද (05) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවූවා.

ඒ සඳහා අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ අමාත්‍ය චන්දිම වීරක්කොඩි එක්ව සිටියා.

එහිදී ඔවුන් සඳහන් කළේ විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ගැටලුවක් නැති බවත් එය එක් අවස්ථාවක් පමණක් බවයි. සමාන්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ඉදිරියට යන බවද පෙන්වා දුන්නා.

ඊයේ ගනු ලැබූ එම තීරණය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට එරෙහිව සිය අමාත්‍යවරුන් ඡන්ද ප්‍රකාශ කිරීම ගැන කිසිඳු අසතුටක් හෝ විරුද්ධවීමක් සිදු නොකළ බවද සඳහන් කළා. ඒ අනුව ඉදිරි වැඩකටයුතු පිළිබඳවද සාකච්ඡා කළ බවත් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් එම තොරතුරු මාධ්‍යට හෙළි කිරීමට ඔවුන් කටයුතු කළේ නැහැ.