උතුරේ සැලසුම් සහගත ලෙස සිංහල ගම්මාන පිහිටුවීම වහාම නතර කල යුතු බව දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රී සිවාජිලිංගම් පවසනවා. ඔහු කියා සිටියේ දකුණේ සිංහල පිරිස් දෙමල ගම්මානවල පදිංචි කරන අතර එහි බෞද්ධ විහාර ඉදිකිරීමද කඩිනම් වෙමින් පවතින බවයි. මේ තුලින් අදාල පළාත්වල දෙමල ජනයාගේ අනන්‍යතාව විනාශ කර දැමීමට ඇතමුන් කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.
උතුරු පළාතේ දකුණේ සිංහල ජනතාව සැලසුම්සහගතව පදිංචි කරවීම සම්බන්ධයෙන් විශේෂ එක් දින සැසියක් ඊයේ (05)උතුරු පළාත් සභාවේදී පැවැත්වුනා. එහිදී අදහස් දක්වමින් මන්ත්‍රී සිවාජිලිංගම් මෙම අදහස් පලකළා .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව එක්දින රැස්වීමක් පැවැත්වීම තුලින් කිසිඳු ප්‍රතිපලයක් නොමැති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී දෙමල මන්ත්‍රීවරුන් රජයට බල කල යුතු බවත් ඔහු පෙන්වාදුන්නා. මෙය පාලනය කිරීමට වහාම පියවර නොගන්නේ නම් දෙමල ඊලම බිහිවීම කඩිනම්වනු ඇති බවද ඔහු එහිදී කියා සිටියා.
මේ සඳහා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටිය හැකි නමුත් එම අවස්ථාවේදී එහි මන්ත්‍රීවරුන් 25ක් හෝ රැඳී නොසිටුණු ඇති බව කියා සිටි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වහාම කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
රටතුල නිදහස් දෙමල ඊලමක් බිහි විය යුතුද නැතිද යන්න තීරණය කල යුත්තේ දකුණ දේශපාලකයන් බවද කියා සිටි ඔහු උතුරේ සිංහල ජනතාව සැලසුම් සහගත ලෙස පදිංචි කිරීම නතර කිරීමට පියවර නොගන්නේ නම් නිදහස් දෙමල ඊලම කඩිනමින් බිහි කරන බවත් එය වැලක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇති බවත් උතුරු පළාත් සභා විශේෂ සැසිවාරය අමතමින් කියා සිටියා.