Tuesday, November 26, 2024

General line - 0115112241

කොටි වලදැමූ ආයුධ ගබඩාවක් සොයා ගනී (PHOTOS)

රොමේෂ් මධුෂංඛ/දිනසේන රතුගමගේ




මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වල දමන ලද ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස ගොඩගැනීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

වව්නියාව හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එම කඳවුරුහි අණදෙන නිලධාරීවරුන්ගේ නායකත්වයෙන් එහි නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල කැනීම්වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ ගබඩාව මෙලෙස සොයා ගත්තා.

එහිදී කාලතුවක්කු උණ්ඩ 34 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 34 ක්, කොටි සංවිධානය විසින් නිශ්පාදිත අත්බෝම්බ 22 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 48 ක්,  ආර්.පී.ජී. උණ්ඩ 7ක්, එම්.පී.එම්.ජී. බර අවි උණ්ඩ 2000 ක්,  ගුවන් යානා නශාක උණ්ඩ 1710 ක්,  ක්ලේමෝ බෝම්බ 4 ක්, අධි බලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 48ක්, එල්.ටී.ටී.ඊ .සාමාජිකයින්ගේ නිල ඇඳුම් ඇතුලු යුද උපකරණ රැසක් මේ අතර තිබී සොයාගෙන තිබෙනවා.

මෙසේ යුද උපකරණ ගොඩ ගැනුනු මෙම ප්‍රදේශය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආයුධ ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර ආරක්ෂක අංශ ප්‍රහාරයන් හමුවේ එම ස්ථානයේ මෙම ආයුධ වලදමා ඔවුන් පලා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ගොඩ ගත් යුද උපකරණ තොගය මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමටද මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.