Sunday, April 28, 2024

General line - 0115112241

මහා සිනමාවේදියා දැයෙන් සමුගනී (UPDATE)

ඩිල්ෂාන් මඩවල




අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදු කෙරුණා. ඒ නිදහස් චතුරශ්‍රයේදීය.

------------------------------------------------

දැයෙන් සමුගන්න පැය කිහිපයකට පෙර මහා සිනමාවේදිගේ දේහය චිත්‍රපට සංස්ථාවට

02-05-2018 14:40

අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙනවිත් තිබෙනවා. බම්බලපිටිය ඩික්මන් පාරේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූණු දේහය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ආවේ රිය පෙරහැරකින්.

ඊට පෙර නිවසේ දී කතෝලික ආගමික වතාවත් ද සිදු කෙරුණා. ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ආ දේහයට කලාකරුවන් බොහෝ දෙනෙකු මේ වනවිටත් පුෂ්පෝපාහාර දක්වමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙනවා. ඒ සඳහා දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ සිට නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇත්තේ රිය පෙරහැරකින්.

සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් අද  (02) ජාතික ශෝක දිනයක්  ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

----------------------

ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගන්නා අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ

(02-05-2018 03:54)

(දිනුක් හේවාවිතාරණ )

 

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකාරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකරන අද (02) දිනය රාජ්‍ය ශෝක දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

හෙළ සිනමා ක්‍ෂේත්‍රය වෙනුවෙන් එතුමන් සිදුකල අනුපමය සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන් එතුමන් ජාතියෙන් සමුගන්නා අද (02) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන්. 

ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මේ වන විට එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලට ගෙන ඒමට නියමිතයි. ජාතික චිත්‍රපට සංස්ථාව අසලදී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත ගෙන ඒමට නියමිතයි.

දහවල් 12:00 ට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කිරීමෙන් පසුව සවස 3:00 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

........................

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස ගමක් නම් කරයි

(01-05-2018 15:38)

 

ලාංකේය සිනමාව පුරෝගාමි මෙහෙවරක් සිදු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාර පිණිස ''සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම ''නමින් උදා ගම්මානයක් සඳහා තිස්සමහාරාම ජූල්පල්ලම ග්‍රාමයේ දී මුල්ගල තැබුණා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදස අතින් උදාගම්මානයට මුල්ගල තැබුවා.

මෙම ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන 139වන උදා ගම්මානය මෙන්ම තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශය තුළ ඉදිකෙරෙන 65වන උදා ගම්මානය ද වනවා.

ආර්ථික අපහසුතාවයෙන් පසුවන පවුල් සඳහා නැවත අය කරගැනීමකින් තොරව ලබාදෙන නිවාස ආධාර යටතේ මෙම ගම්මානයේ ප්‍රතිලාභී පවුල් වෙත සිය නිවස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 500,000ක ආධාරයක් ලබාදෙනවා.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් පරිදි දිළිදු පවුල් වෙත දිවයින පුරා උදා ගම්මාන 50ක් ඉදිකිරීම සඳහා පිරිනැමුණු රුපියල් ලක්ෂ 6000 ආධාර වැඩසටහන යටතේ මෙම උදා ගම්මානය ඉදි කෙරෙනවා.

-------------------------------

මහා සිනමාකරු දැයෙන් සමුගන්නා දිනයේ නිදහස් මාවත අවට විශේෂ රථ වාහන සැලැස්මක් (PHOTOS) (UPDATE)

(01-05-2018 12:00)

(වසන්ත පිවිතුරු)

 

අභාවප‍්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කෙරෙන කොළඹ නිදහස් චතුරස‍්‍රය සහ අවට මාර්ගවල විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාවට නංවා තිබෙනවා. දේහය නිදහස් චතුරස‍්‍රය වෙත රැගෙන ඒමට නියමිතව ඇත්තේ හෙට (02) උදෑසනයි. මේවන විටද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිනවා. 

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශීය කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ  හෙට (02) අභාවප‍්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය රිය පෙරහැරකින් බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාව අසලට රැගෙනවිත් එහී කලාකරුවන් වෙත භාරදීමට නියමිත බවයි.

ඉන් අනතුරුව ඒ මහතාගේ දේහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනි සංස්ථාව අතර මාර්ගය ඔස්සේ නිදහස් චතුරස‍්‍රය වෙත රැගෙන යාමට නියමිතව ඇති බවයි සංවිධායක කමිටුව බවසා ඇත්තේ.

----------------------

හෙළයේ මහා සිනමාවේදී අනිද්දා අවසන් ගමන් යයි

(30-04-2018 07:50)

(දිනුක් හේවාවිතාරණ/ කසුන් කැලුම්/හර්ෂිකා සංජීවනි)

 

අභාවප‍්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග‍්‍රහයෙන් අනිද්දා (02) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදීයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ 5 තිඹිරිගස්යාය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුණා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 99ක්.

------------------------

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

(30-04-2018 07:50)

 

අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනපතිගෙන් උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා  වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

-----------------------

හෙළ සිනමාවේ "රේඛාව" සිය ජිවන ගමනට සමුදෙයි 

(29-04-2018 21:50)

 

හෙළ සිනමා වංශකතාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මිට සුළු මොහොතකට පෙර අභාවප්ප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට එතුමා අවුරුදු 99 ක් වුනා.

1919 වර්ෂයේ අප්‍රේල් මස 05 වෙනිදා කොළඹදී උපත ලැබූ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා සිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පිතර් විදුහලෙන්. අවුරුදු 17 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලබනවා.

පසුව 1947 වසරේදී සිය මවගේ උපදෙස් මත එංගලන්තය බලා යන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා එහිදී සිනමාව පිළිබඳව ඉගෙන ගන්නා අතර එහිදී මුණගැසෙන තවත් ශ්‍රී ලාංකිකයෙක් වන හර්වුඩ් ජෑන්ස් සමග එක්ව සිය පළමු කෙටි සිනමා චිත්‍රපටය 1949 වසරේදී නිපදවන අතර එයට සම්මානයක්ද හිමිවුවා.

පසුව 1952 වසරේදී යලි සිය රට බලා  පැමිණෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා, 1956 වසරේදී සිය පළමු චිත්‍රපටය ලෙස "රේඛාව" නිර්මාණය කරමින් හෙළ සිනමාවට පාතබනවා. එම චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීයවද ගෞරවයට පාත්‍රවනවා. මෙරට සිනමාවේ චිත්‍රාගාරයකින් පිට රූගත කල පළමු චිත්‍රපටය ලෙස හදුන්වන්නේ " රේඛාව" චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 1957 වසරේදී අන්තර්ජාතික කෑන්ස් සිනමා උළෙලේ  Palme d'Or සම්මානය සඳහා නිර්දේශ වුවා. 

1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් විසින් රචිත "ගම්පෙරළිය" චිත්‍රපටයට සරසවි සිනමා උළලේ හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිවන අතර එම චිත්‍රපටය 3 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලද නියෝජනය කරනු ලබනවා.

මෙරට සිනමාවට දයාද රැසක් තිලින කර දුන් අචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අධ්‍යක්ෂණය කරණ ලද චිත්‍රපට හා කෙටි චිත්‍රපටි සංඛ්‍යාව 25 කට අධිකයි.

හෙළයේ මහා සිනමාවේදියාණනි ඔබට අප නිවන් සුව පතන්නෙමු....!!!

(මුලාශ්‍රයන් විකිපීඩියා ඇසුරෙන්)