Saturday, April 27, 2024

General line - 0115112241

ඇමති මාරුවේ කිසිම විද්‍යාවක් නැහැ! උදාහරණත් සමග ජවිපෙ පහදයි




විද්‍යාත්මකව විෂය පථයන් බෙදුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් බව පවසමින් සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ කිසිදු විද්‍යාත්මක බවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඒ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

මේ ඔහු එහෙදී අදහස් දැක්වූ අයරුයි. 

මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට ජනතාවට දුන්නු පොරොන්දු අතර විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියන එකත් ප‍්‍රධාන එකක් වුනා. මේ ආණ්ඩුවට එහෙම කියන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අමාත්‍ය මණ්ඩලය ජනතාවට, රටට දරාගන්න බැරි අසීමිත එකක් වීමයි. ජනගහනයට සාපේක්‍ෂව චීනයටත් ඉන්දියාවටත් වඩා වැඩි ඇමති මණ්ඩලයක් රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා. ඒ ඇමති මණ්ඩලය ලෝකය පුදුම කරවන ඇමති මණ්ඩලයක් වුණා. රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීම නිසා මේ ආණ්ඩුවට ඇමති මණ්ඩලය විද්‍යාත්මකව පතකරන බවට පොරොන්දු වුනත් ආණ්ඩුව ආරම්භයේදීම ඒ පොරොන්දුව කඩලා දැම්මා. කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව පළවැනි කැබිනට් මණ්ඩලය හැදුවා. මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලය වගේම ඇමති මණ්ඩලය වැඩිකළා. රාජ්‍ය ඇමතිධුර කියලා ඇමතිධුරත් නියෝජ්‍ය ඇමතිධුර, කැබිනට් ඇමතිධුර විදිහට ඇමතිධුර පැටව් ගැහුවා. 

මේ වෙනකොට ආණ්ඩුවට වසර තුනක් ගෙවී තිබෙනවා. කැබිනට් මණ්ඩලය හතර වතාවක් සංශෝධනය කොට තිබෙනවා. ඒකෙන්ම පේනවා, මේ ආණ්ඩුවට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ කියලා. අඩුම තරමේ ජාතික ආණ්ඩුවක් කියලා හදාගත්තු මේ ආණ්ඩුවට වසර 5කට සැලසුමක් ඉලක්ක සහගත වැඩපිළිවෙළක් සහිතව කැබිනට් මණ්ඩලයක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඇත්තටම වෙලා තිබෙන්නේ ඔළුගෙඩි මාරු කිරීමක් විතරයි. ඇතැම් ඇමතිධුර පුද්ගලයින් යාළු කරගන්නත් ඇතැම් යාළුකම් රැුකගන්නත් ලබාදී තිබෙනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයින් සමඟ තිබුණු තරහා පිරිමසා ගන්නත් ඇමතිධුර වෙනස් කොට තිබෙනවා. මුලින් වගේම ඇමති විෂයන් බෙදීමේදී කරපු වැරදි ඒ විදිහටම මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදුකර තිබෙනවා. 

වන රක්‍ෂණ ඇමතිධුරය එක් පුද්ගලයෙකුටත් වන ජීවී අමාත්‍යාංශය තවත් පුද්ගලයෙකුටත් ලබා දෙන්නේ කුමන විද්‍යාත්මක පදනමකටද? විද්‍යානුකූලව නම් විය යුත්තේ වන රක්‍ෂණ සහ වන ජීවී විෂයන් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමයි. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය, එයට ඉඩම් කුඹුරු ජලය යන මේ සියල්ල අයිතිවිය යුතුයි. ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් යන සියල්ල ඒකාබද්ධ කළ අමාත්‍යාංශයක් වනවා වෙනුවට කෘෂිකර්ම එක් ඇමතිවරයෙකුටත් ඉඩම් තව ඇමතිවරයෙකුටත් වාරිමාර්ග තව අයෙකුටත් වෙන්කර දී තිබෙනවා. මෙම විෂයන් වෙන් වෙන්ව තිබියදී කෘෂිකර්මය දියුණු කරන්නේ කොහොමද?

දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශය මහින්ද අමරවීරට දීලා. මහින්ද අමරවීරගේ අමාත්‍යාංශය විජිතමුණි සොයිසට ලබාදීලා. විජතමුණිගේ අමාත්‍යාශය දුමින්ද දිසානායකට දීලා. මොකක්ද මෙතන තිබෙන මහලොකු විද්‍යාත්මක පදනම? 

ඒ වගේම ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිලා කියලා ඇමතිවරුත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. වයඹ පළාතට, උතුරු පළාතට, දකුණු පළාතට සංවර්ධන ඇමතිලා ඉන්නවා. එම පළාත්වලට කිසිදු සම්බන්ධයක් නැති ඇමතිලා ඒ අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමතිධුර දරනවා. ඇතැම් පළාත්වලට සංවර්ධන ඇමතිලා නැහැ.

ලක්‍ෂ්මන් කිරිඇල්ලට මහනුවර සංවර්ධන ඇමතිකමක් දීලා. නුවරට කිසිදු සම්බන්ධයක් නැති අම්පාරේ හාරිස් ඇමතිවරයා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති බවට පත්වෙලා. මහනුවරට සංවර්ධන ඇමතිකමක් දෙනකොට අනෙක් දිස්ති‍්‍රක්වලට සංවර්ධන ඇමතිලා නැහැ.

නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට සියලූම නගර අයිති වෙන්නේ චම්පික රණවක ඇමතිවරයාටයි. නමුත් මහනුවර ඒ අමාත්‍යාංශයෙන් ගලවලා. ලක්‍ෂ්මන් කිරිඇල්ලට දීලා තිබෙනවා. ඒවා කොහොමද විද්‍යාත්මක වෙන්නේ? 

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූර දෙන්නෙකුට දීලා. එම විෂයයන් දෙක එක අමාත්‍යාංශයක් යටතේ නොතබා අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? පළාත් සභාවලදී මෙම අධ්‍යාපන විෂය මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් ලෙස බෙදෙනවා. ඒ වගේම තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු විෂයන් අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ. සාමාන්‍යයෙන් තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු එකට බැඳී තිබෙන විෂයන් දෙකක්. එනිසා ඊයේ සිදුකළ මෙම කැබිනට් සංශෝධනය විකාරසහගත ජනතාව සිනාගස්වන විගඩමක් පමණයි.

මේ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක්. ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුවක්.