Friday, May 10, 2024

General line - 0115112241

බද්දේගම අධිකරණයෙන් පලා ගිය රැදවියෙක් අත්අඩංගුවට : අපක්ෂපාති පරීක්ෂණයකට නියෝගයක්

නිශාන් ද සිල්වා




බද්දේගම අධිකරණයේදී ඊයේ (29) පස්වරුවේ රැදවියන් හය දෙනෙකු පලායාම සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මාතර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක බවයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

ගාල්ල බන්ධනාගාරයේ සිට රැදවියන් 29 දෙනෙකු බද්දේගම අධිකරණයට ඊයේ රැගෙනවිත් තිබුණේ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙක් සහ එක් නිලධාරිණියකගේ ආරක්‍ෂාව මධ්‍යයේයි. පස්වරු 3.30 ට පමණ අධිකරණ සිරමැදිරියේ සිටි රැදවියෙක් හදිසියේ අසනීපවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඔහුව කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබුණා. 

අධිකරණ සිරමැදිරියේ සිටි හමුදාවෙන් පලා ගිය අයෙකු එහි දොරටුව විවෘත කර පලා යාමට තැත්කර තිබෙනවා. කෙසේවෙතත් ඔහුට පලායාමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබාදී නැහැ. ඒ සමගයි රැදවියන් හය දෙනෙකු සිරමැදිරියෙන් පලාගොස් ඇත්තේ. එහිදී පහරකෑමට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

පලාගිය රැදවූවන්ගෙන් එක් අයෙකු බද්දේගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින්.