Saturday, April 27, 2024

General line - 0115112241

අපරාධ රැසක සුලමුල සොයා දුන් 'කෝරා' හදිසියේ මිය ගිහින් - මරණයට හේතුව සොයා පරීක්ෂණ ඇරඹෙයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03 කට වැඩි කාලයක් රාජකාරි කළ 'කෝරා' සුනඛයා අද (29) අලුයම මිය ගොස් තිබෙනවා.

බෙල්ජියම් සුනඛ වර්ගයකට අයත් නෙදර්ලන්තයෙන් ගෙනෙන ලද මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පෑලියගොඩ, අම්පාර, මඩකලපුව, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර තිබුණා.

හැටන් පොලිස්  කොට්ඨාශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහයෝගය ලබාදී ඇති කෝරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරි කළ කාලය තුල  ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය  රැගෙන පැමිණි සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට සහයෝගය දක්වා තිබෙනවා.

මධ්‍යම පළාතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා කෝරා සුනඛයාව රැගෙන ගිය අවස්ථාවේ කෝරා මිය ගොස් ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

කෝරාව රැකබලා ගත් නිලධාරියා සඳහන් කරන්නේ ඊයේ දිනයේත් යහපත් සෞඛ්‍ය මට්ටමින් සිටි මෙම සුනඛයා අද හදිසියේ මිය ගොස් ඇති බවයි. මරණයට හේතුව සොයා පරීක්ෂණ හෙට (30) දිනයේ සිදු කිරීමට නියමිතයි.