Monday, May 13, 2024

General line - 0115112241

"හොරු වීරයෝ වෙලා..වීරයෝ හොරු වෙලා"




පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට හොරු වීරයෝ වී ඇති බවත් වීරයෝ හොරු වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඔහු පවසන්නේ හොරු ඇල්ලීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුන් පොරොන්දු ද මේ වන විට ඉෂ්ට වී නොමැති බවයි. එය කලකිරීමට හේතුවක් වී ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කඩවත පහළ බියංවල චිත්ත විවේකාශ්‍රමයේ අද (29) පැවැති ප්‍රජා සත්කාරක වැඩසටහනකට එක් වෙමින්. මව්රට තරුණ සංවිධානය එම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබුණේ ගමේ පන්සල ගමට සවියක් යන තේමාවෙන්.

එම ප්‍රජාසත්කාරක වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේ,

“මේ රටේ ජනතාව රටේ ආණ්ඩුව ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි භාර දුන්නේ මේ රටේ හොරු අල්ලලා ඉදිරියට ගෙනියන්න. නමුත් තවමත් ජනාධිපතිතුමායි අගමැතිතුමායි දුන්න පොරොන්දු ඉටු කරලා නැහැ. ඒක රටේ අවාසනාවක්. අද හොරු වීරයෝ වෙලා. වීරයෝ හොරු වෙලා. පසුගිය ආණ්ඩුවේ හොරකම් කළ අය නිදැල්ලේ ඉන්නවා. දැන් අවුරුදු තුනහමාරක් වෙනවා. තාම අපිට පසුගිය කාලේ හොරෙක් අල්ලා ගන්න බැරි වුණා. නමුත් අනෙක් පැත්තෙන් මම සන්තෝෂ වනවා.. මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුවත් ඇල්ලීම ගැන. අර්ජුන ඇලෝෂියස්ලාගෙන් සල්ලි ගත්ත 118ක් ඉන්නවා නම් ඒ නම් 118 අනිවාර්යෙන්ම එළියට දාන්න ඕන. ඇත්තටම දැන් සමහර අය ලොකුවට කෑ ගැහුවට ඒ ගොල්ලන්ගෙත් රෙදි ගැලවිලා තියෙන්නේ......” යනුවෙනි.

“මම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ කෙනෙක්. නමුත් විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. විශේෂයෙන්ම නරක පුද්ගලයෙක් විධායක ජනාධිපති ධුරයට පත් වුණොත් ඔහු විධායක ජනාධිපති ධුරයේ බලතල වැරදි විදියට භාවිත කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව ගත් විට එය සුරක්ෂිත වීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයෙහි බලතල විශාල වශයෙන් බලපානවා. ඒ නිසා මේ සියලු දෙයම සලකා බලා තමයි අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමකට යා යුත්තේ.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවා.

මේ අතර මේ වන විට රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කලේ සිය ආණ්ඩුව බවද අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව භාර ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.