Monday, May 13, 2024

General line - 0115112241

O/L සහ A/L ප්‍රථිපල තවත් ඉක්මනින් ලැබෙයි




සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කරමින් පුරප්පාඩු පවතින ජාතික පාසල්වල විදුහල්පති තනතුරු ගැසට් කර බඳවාගැනීමට පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අතර අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාග උත්තරපත්‍ර ඇගයීම විභාග පවත්වන නිවාඩු කාලය තුළදීම සිදු කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී  පැවති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ විදුහල්පතිවරුන් 85 දෙනෙකුට උසස්වීම් ලිපි ලබා දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.  මීට අමතරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ නිලධාරීන් 263 දෙනෙකුට අදාළ උසස්වීම් ලිපි පසුගිය අප්‍රේල් මස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබා දුන්නා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් සිසු දරුවන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමටත් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යොදාගන්නා පාසල් වසා තැබීමේ කාලය අවම කිරීමටත් ඊළග පාසල් වාරය ආරම්භයේ සිටම ගුරුවරුන්ට තම පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටත් මේ මගින් හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදී ඔවුන් අධ්‍යාපන පද්ධතියට එකතුකර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද වැඩිදුරටත් පැවසූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,  ඒ අනුව විදුහල්පති තනතුර පුරප්පාඩුව පවතින ජාතික පාසල්වලට විදුහල්පතිවරුන් බඳවාගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නා.

එසේම ඉදිරියේදී අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා බඳවාගැනීමේ දී ද එම තනතුරු ගැසට් කර සුදුසුකම් සහිත දක්ෂ නිලධාරීන්ට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙතෙක් කාලයක් පුරා උසස්වීම් ලබාදීමේ සිදු වී තිබු ප්‍රමාදයන් වළක්වාගැනීමටත් අධ්‍යාපන පද්ධතිය තුළ පැවති සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත් පියවර ගත් බව ද අමාත්‍යවරයා සිහිපත් කළා.