Thursday, December 26, 2024

General line - 0115112241

බැදුම්කර වාර්තාවේ හෙළි නොකළ තොරතුරු හෙළි කිරීමට නීතිපති උපදෙස් පතයි

සමන්ත කුමාර




ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරිමට නම් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෙම වාර්තාවේ සමහර කරුණු සගවාලීමට උත්සහ කරන බවට ඇතැම් පාර්ශව කරන චෝදනාවලට අද (01) ප‍්‍රතිචාර දක්වමින්. තමන් දැනටමත් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයිද ජනාධිපති ලේකම්වරයා මෙහිදි කියා සිටියා. 

මෙම වාර්තාව සම්පුර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේද තමන් වෙත ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැත් ඒ සඳහා වුවද ප‍්‍රතිචාර දැක්විය හැක්කේ නීතිපති උපදෙස් අනුව පමණක් බව මෙහිදී අවධාරණය කෙරුණා. මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තමන් ගෙන් බැදුම්කර වාර්තාවේ තොරතුරු ඉල්ලා ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් වලට අනුව පමණක් එය නිකුත් කළ හැකි බව දන්වා ඔහුට ලිපියක් මාර්ගයෙන් දැනුම් දෙන බවද මෙහිදී ජනාධිපති ලේකම්වරයා සදහන් කර සිටියා.

ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ලබා දුන් බව කියන දේශපාලනඥයින් 118 දෙනෙකුගේ නම්ද මෙම වාර්තාවේ ඇතුළත් වන බවට අදහසක් පළ වී තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා ඊටද අද ප‍්‍රතිචාර දැක්වුවා.

මෙම වාර්තාව පිළිබඳ කිසිවෙකු හෝ ඉදිරියේදීත් කරුණු විමසන්නේ නම් නියමිත පිටු අංකද සහිතව නිශ්චිතව විමසීම සිදු කරන්නැයි මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා.