Monday, April 29, 2024

General line - 0115112241

එජාප පසුපෙළ මන්ත්‍රිවරු 06ක් දිවුරුම් දෙන්න සූදානමින් - රවීටත් ඇමති ධූරයක්

හේමන්ත කහවලගේ




ළඟදීම තවත් අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. අමාත්‍ය ධුරය හිමිවනු ඇතැයි පැවසෙන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියත් සමග ආන්දෝලනාත්මක චරිතයක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකටයි. ඉදිරි සතිය හෝ දෙක ඇතුළත අමාත්‍යවරයෙකු ලෙස ඔහු දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වනවා. 

කෙසේ වෙතත් රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට ලබාදෙනු ඇතැයි කියන අමාත්‍යංශය පිළිබඳ මෙතෙක් කිසිදු නිශ්චිත වාර්තාවක් පළ වී නැහැ. මුදල් අමාත්‍ය ධුරය දැරූ රවී කරුණානායක ඉකුත්දා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු කොමිසන් සභා පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු මතයි.

ඔහුට යළි අමාත්‍ය ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද විරෝධයක් පළ වී නොමැති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. මීට පෙර සිදු වූ ඇමති මණ්ඩල සංශෝධනයේදී ද රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි වාර්තා පළ වුණා. එහෙත් එවැන්නක් සිදු වූයේ නැහැ. 

මේ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරුන් 06 දෙනෙකු ද ළඟදීම පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ටයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක ප‍්‍රකාශ කළේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම ලබන සතියේ සිදු වන බවයි.