Monday, April 29, 2024

General line - 0115112241

රටේ විදුලි අර්බුදයට විසදුම් සොයන නව ජනන සැලැස්මක් අද

සජිත් තිලකරත්න




රටේ විදුලි අර්බුදයට විසදුම් සොයන නව ජනන සැලැස්මක් අද (11) දිනයේ එළි දක්වනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා. විදුලි ඉංජිනේරුවරුන් මේ වනවිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වන්නේ ද මෙම ජනන සැලැස්ම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටළුවක් මුල් කර ගනිමින්. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කරන ලද නව සැලැස්ම ඉකුත් වසරේ මැයි මාසයේදී මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නා. එහෙත් ඔවුන් ඊට අනුමැතිය ලබාදුන්නේ නැහැ. ඒ වෙනුවට මහජන උපයෝගීතා කොමිසම විසින් ඔවුන්ගේ සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් එමගින් ඉදිරියේදී ඇතිවන විදුලි අර්බුදවලට විසදුම් ලබාදිය නොහැකි බවටයි විදුලි ඉංජිනේරුවරුන් දිගින් දිගටම පැවසුවේ.  මේ වනවිට ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වන්නේ ද ඊට විරෝධය පළ කරමින්. 

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ඉදිරි විදුලි අර්බුදවලට විසදුම් යෝජනා කරන විදුලි සැලසුමක් නොමැතිවීම හේතුවෙන් අර්බුද රැසක් පැන නැගී ඇති බවයි. ඒ අනුව 2014 සිට මේ දක්වා අනුමත කිසිදු විදුලි බලාගාරයක් මේ දක්වා ඉදිකර නැහැ. 2015 සිට මේ දක්වා ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු විදුලි ජනන සැලසුමක් හඳුන්වා දී නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

අද හඳුන්වා දීමට නියමිත නව ජනන සැලැස්ම 2018 වසරේ සිට 2037 වසර දක්වා ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා. ඊට ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බවටයි වාර්තා වන්නේ. 

නව සැලැස්ම හඳුන්වාදීමත් සමග විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අවසන් වනු ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

නව ජනන සැලැස්ම පිළිගෙන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හැරීමට සූදානම්දැයි නෙත් නිවුස් විදුලි ඉංජිනේරුවන්ගෙන් ද විමසීමක් කළා. විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ අද දිනයේ විසඳුමක් නොලැබුණහොත් සියලූ බලාගාර රාජකාරීවලින් ද ඉවත් වන බවයි.