Monday, May 6, 2024

General line - 0115112241

රුසියානුවන් සමග සටනින් IS නායකයාගේ පුත්‍රයා මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩිගේ එක් දරුවෙක් සිරියාවේ, හොම්ස් නගරයේදී ඇතිවූ ගැටුමකදී මියගිය බව එම සංවිධානය විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක සඳහන් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

සිරියාවේ, හොම්ස් හි පිහිටි තාප බලාගාරයක් අසලදී රුසියානු සහ නුසාරේයියා සටන් කණ්ඩායම් වලට එරෙහිව දියත් කරන ලද මෙහෙයුමකදී සිය සංවිධානයේ නායකයා ගේ පුත්‍රයා වන හුදෙයිෆා අල්-බද්රි මිය ගිය බවට" සංවිධානය නිවේදනය කර සිටිනවා. (සිරියාවේ අලාව්ට් යන ප්‍රජාව මෙසේ නුසාරේයියා යනුවෙන් හදුන්වනු ලබනවා)

ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ නායකයා වන අබු බක්ර් අල්-බග්ඩාඩි සිටිනා නිශ්චිත ස්ථානයක් පිළිබඳව මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැති අතර සිය පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නිවේදනයට අනුව ඔහු තවමත් ජිවතුන් අතර සිටින බවට පෙනීයන බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

2014 වසරේදී උතුරු ඉරාකයේ සිය මෙහෙයුම් ආරම්භ කළ ඉස්ලාමිය සංවිධානයේ නායකයා මොසුල් හි මුස්ලිම් දේවස්ථානයක සිටි බවත් එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජිවිතක්ෂයට පත්වූ බව මුලින් වාර්තා පළවුනා.

අබු බක්ර් අල්-බග්ඩාඩි අවසන් වරට මාධ්‍ය හමුවේ හඩ පටයක් නිකුත් කලේ 2016 වසරේදී වන අතර එහිදී මිනිත්තු 46 ක කාලයක් තුල සිදුකළ එම නිවේදනය තුලින් ඔහු ඉල්ලා සිටියේ බටහිර රාජ්‍යයන්ට එරෙහිව දියත් කරන මෙන් හා ඉරාකයේ සහ සිරියාවේ සටන් දිගටම කරගෙන යන ලෙසයි. ඉන් පසුව ඔහුගේ හඩ පටයක් හෝ නිවේදනයක් මේ දක්වා ප්‍රසිද්ධ වී නැත.