Wednesday, December 25, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල්ට මන්නා ප්‍රහාරයක් (PHOTOS)

කාංචන ආරියදාස




සුඛෝපභෝගී මෝටර් රථයකට පිරිසක් ගිනි තැබීමට යද්දී එය වැළැක්වීමට ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතල කැපුම් තුවාල සිදු කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරනවා.

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රි 8.30 ට පමණ යතුරුපැදියක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.
අනතුරත් සමග ‍ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් අනතුරට පත් සුඛෝපභෝගී මෝටර් රථයට මෙලෙස ගිනි තබන්නට උත්සහා කර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචි අශෝක ලාල් (38) නැමැති දෙදරු පියෙකි.

සුඛෝපභෝගී මෝටර් රථය දඹුල්ල ප්‍රදේශයේ සිට සීගිරිය ප්‍රදේශයට ධාවනය වෙමින් තිබී ඇති අතර යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දෙසින් ප්‍රධාන මාර්ගයේ පැමිණ සිය නිවස ප්‍රදේශයට හරවනවාත් සමග මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය පවසනවා.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වීමත් සමග මාර්ගය දෙපස සෝදිසියකින් තොරව යතුරුපැදිය හැරවීම නිසා රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවද දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න පැවසුවා.

අනතුරත් සමග ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට වී තිබෙනවා. මෝටර් රථයේ පැමිණි රියදුරු එම ස්ථානයෙන් තවත් පිරිසකගේ ආධාර ඇතිව දඹුල්ල පොලිසියට ගොස් බාර වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාට මන්නා පිහියකින් පහරදී කැපුම් තුවාල සිදු කළ සැකකරු අදාළ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

(මන්නා පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් )
 
(අනතුරෙන් මිය ගිය යතුරුපැදිකරු)