Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති ගත් තීරණය යළි සලකා බලන්නැයි ඉල්ලයි

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් සහ උසස්වීම් ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යළිත් සලකා බලන්නැයි ජාතික අධ්‍යාපන සේවක සංගමය ඉල්ලීමක් කරනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ කැඳවුම්කරු  එස්. පී. පත්බේරිය මේ බව පෙන්වා දෙනවා. 

අදාළ පත්වීම් ලබා දීමට නියමිතව තිබුණේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් නොවන බවද ජාතික අධ්‍යාපන සේවක සංගමයේ කැඳවුම්කරු එස්. පි. පත්බේරිය වැඩිදුරටත්  සඳහන් කළා.

මෙම පත්වීම් සහ උසස්වීම් ලබා දීමට විරුද්ධ පාර්ශ්වයක් වන ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයෙන්ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ උප සභාපති නීල් අතුකෝරළ සඳහන් කළේ මෙම ලයිස්තුවේ අපොස සාමාන්‍ය පෙළ ගණිතය විශය අසමත් 27 දෙනෙකු සිටින බවයි. ළමා අපචාර සිදු කර වැඩ තහනමට ලක් වූ පිරිස්ද එහි සිටින බවත් සඳහන් කළා. සිය විරෝධය ඒ වෙනුවෙන් බවයි පැහැදිළි කෙරුණේ. මේ පිළිබඳව විස්තර සහිතව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත් මෙහි දේශපාලනයක් නොමැති බවත් පෙන්වා දුන්නා.

මෙම ගැටලූව මුල් කර ගනිමින් අද (26) දිනයේ කි‍්‍රයාත්මක කිරිමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට ගුරු විදුහල්පති ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංගම් කිහිපයක් ඊයේ (25) තීරණය කළේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. දේශපාලන පළිගැනිම්වලට ලක්වූවන්ට පත්වීම් සහ උසස්වීම් ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී තීරණය කළා.