අක්කරය වාර්ෂිකව රුපියල් 2850 ක් වැනි මුදලකට කුණුකොල්ලයට කෝටිපති ව්‍යාපාරිකයින්ට බදුදිමට යෝජිත නකල්ස් ප්‍රේරණ කලාපයට අයත් ඉඩම් එම තක්සේරුවටම බද්දට ගැනීමට පරිසර හා සිවිල් සංවිධාන සුදානම් බව මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැදවුම්කරු "ගැපෙක් ශ්‍රී ලංකා" ආයතනයේ අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස පවසනවා.
සත්ව ගොවිපල වැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙම ප්‍රේරණ කලාපයට අයත් ඉඩම් බදුදීමෙන් නකල්ස් වනාන්තරයේ ජෛව විවිධත්වයට හා මාතලේ බටහිර බෑවුමේ ස්වාභාවික ජල මූලාශ්‍ර හා පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනීමේ අරමුණ ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ජයතිස්ස පැවසුවා. මේ වනවිටත් මෙම ඉඩම් බරපතල ලෙසට හායනයට ලක්ව ඇති බව පෙන්වා දෙන ගාමිණී ජයතිස්ස නකල්ස් වනාන්තරයේ පරිවාර කලාපය ලෙසට පවත්වා ගෙන යන මෙම ඉඩම්වල සංවර්ධනය කටයුතු සිදු කිරීමෙන් හායනය උග්‍රවී ස්වාභාවික ජල උල්පත් සිදී යාමේ හැකියාවක් ඇති බවද පවසයි.
පරිසර සංවිධාන සහ සිවිල් සංවිධානවලට මෙම ඉඩම් බද්දට ගෙන පරිසරයට අගතියක් සිදු නොවන ආකාරයට පරිහරණය කිරීමේ හැකියාව ඇති බවද ජයතිස්ස පෙන්වා දෙනවා. මොරගහකන්ද ජලාශයේ ජල මූලාශ්‍රය වන අඹන්ගගේ ජල පෝෂකය සත්ව ගොවිපල සඳහා බදුදීමෙන් නකල්ස් ආශ්රිත සත්ව හා ශාඛ ජීවීන්ගේ පැවැත්මට හානිකර බලපෑමක් ඇතිවීම වලක්වා ගැනිමේ හැකියාවක් නොමැති බවද ජයතිස්ස වැඩිදුරටත් පවසනවා.