හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම අවශ්‍යතාවක් තිබේනම්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ද ඉදිරි ජනාධිපතිවරණයකට තරග කිරීමට නීතිමය බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මේ බව පැවසුවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ තැනැත්තෙකුට නැවත ජනාධිපතිවරණයක් සඳහා තරග කළ නොහැකියි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයකට තරග කළ නොහැකි බව අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (19) කියා සිටියා. එහෙත් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී එල් පීරිස් පෙන්වා දුන්නේ මෙම විධි විධානය මහින්ද රාජපක්ෂ මහතාට හෝ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අදාළ නොවන බවයි.
19 වන සංශෝධනය මඟීන් ස්ථාපිත කර ඇත්තේ නව ජනාධිපති ධුරයක් බවද එය මහින්ද රාජපක්ෂ මහතා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හොබවන ලද ජනාධිපති ධුරය නොවන බවද ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණා.
මෙම නීති තර්කය විසඳා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය මීට පෙර ප්‍රකාශ කළා. එහෙත් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේ ජනාධිපතිවරයාට හැර වෙනත් පාර්ශවයකට එලෙස ශ්රේෂාඨාධිකරණයෙන් මතය විමසීමට බලයක් නොමැති බවයි. මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඊටද ප්‍රතිචාර දැක්වූවා.
මීට අදාළ නීති කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බවද මහාචාර්ය ජී එල් පීරිස් මෙහිදී කියා සිටියා.