හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘‘භාරත් රත්න’’ සම්මානය ලබා දෙන්නැයි භාරතීය ජනතා පක්ෂයේ මන්ත‍්‍රී සුබ‍්‍රමනියම් ස්වාමි ඉන්දීය රජයට යෝජනා කර තිබෙනවා.
මෙම සම්මානය ලබාදෙන්නේ ඉන්දියානුවන්ට පමණක් වුවද, මීට පෙර විදෙස් ජාතිකයින් දෙදෙනෙකුට ද එය ලබාදී ඇති බවයි පැවසෙන්නේ. ඒ, දකුණු අප‍්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට හා පකිස්තානයේ දේශපාලඥයෙකු වන අබ්දුල් ගාෆුර් ඛාන්ටයි.
ඉන්දියාවටත්, ශ‍්‍රී ලංකාවටත් දැඩි තර්ජනයක් වූ එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබාදීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ‘‘භාරත් රත්න’’ සම්මානය ලබාදිය යුතු බවටයි සුබ‍්‍රමනියම් ස්වාමි යෝජනා කර ඇත්තේ.
මීට අමතරව ලබන 12 වැනිදා ඉන්දියාවේ පැවැත්වෙන මහජන රැළියක් ඇමතීමට ද හිටපු ජනාධිපතිවරයාට ඔහු ආරාධනා කර ඇති බව වාර්තා වනවා. 1954 වර්ෂයේ සිට පිරිනමන ‘‘භාරත් රත්න’’ සම්මානය සිවිල් පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දියානු රජය පිරිනමන ඉහළම සම්මානයයි.