Thursday, January 16, 2025

General line - 0115112241

ජනපතිගේ චීන සංචාරයෙන් මෙරටට ඩොලර් බිලියන 3යි දශම 7ක දැවැන්ත ආයෝජනයක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්, හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීම අද සිදු කෙරුණා. 

ඒ, ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතරයි. 

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3යි දශම 7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්තයි. 

ඉන් විශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. 

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය මාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති. 

එමෙන්ම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අතර නිල හමුව බීජිං අගනුවරදී අද පස්වරුවේ සිදු වුණා. 

එහිදී චීන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ශ්‍රී ලාංකේය ජනතාවට “පොහොසත් රටක් -  ලස්සන ජීවිතයක්”  ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බවයි චීන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවද චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙහිදී අවධාරණය කළා.

දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලද චීන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම ෆාහියන් භික්ෂුවගේ සමයට පෙර සිටම  පවතින බවයි. 

දුප්පත්කම තුරන් කිරීම සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට නතු කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා සිටියා. 

මේ වන විටත් චීන රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දී තිබෙන සහාය සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ චීන රජයට සහ ජනතාවට ස්තුතිය පළ කළා.

දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙයිජින් අගනුවර ටියැන්මන් චතුරස්‍රයේ පිහිටි මහජන විරු ස්මාර්කයට පුෂ්පෝපහාර දැක්වීමට ද අද එක් වුණා.