Saturday, January 18, 2025

General line - 0115112241

ජනබලය කොළඹට : සුනාමි පෙරහුරුව ගැන ඇමතිවරයා කියූ දේ

දිනුක් හේවාවිතාරණ




සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන හෙට (05) උදැසන 8.30ට ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග ජල සම්පත් ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කරනවා. අද (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියා.

" ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මේ වැඩසටහන කළාපයේ ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල් 2005 වසරේ සිට අඛණ්ඩව සුනාමි ආපදා තත්ත්වයන් පිලිබඳ පරික්ෂා කරන මෙම පෙරහුරු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුවයි හෙට දිනයෙදී මේ සියලු රටවල් එකතු වෙලා එකම වේලාවකදී සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුව ක්‍රියාත්මක කරන්නේ. අපිට ඉන්දියාවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ලැබුනම මෙරට තියෙන සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77 ක් හරහා අපි ඒ පිළිබඳව දැනුම් දෙනවා" යැයි මෙහිදී ඇමතිවරයා කරුණු පැහැදිලි කර සිටියා.

මේ අතර හෙට පැවැත්වෙන සුනාමි පෙරහුරුව පිලිබදව ඇතිවිය හැකි චෝදනා සම්බන්ධයෙන් ද ඇමතිවරයා පැහැදිලි කිරීමක් සිදුකළා.

මේකත් කියන්න පුළුවන්, හෙට පැවැත්වෙන සුනාමි පෙරහුරුව තියන්නේ ඔවුන්ගේ උද්ඝෝෂණය අඩපන කරන්න කියලා. මේක මම තෝරපු දිනයක් නෙමෙයි. අන්තර්ජාතික වශයෙන් රටවල් රාශියක් එකතු වෙලා එකම වෙලාවෙලා එකම දිනයකදී කරන පෙරහුරුවක් ලෙසයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දේශපාලනික වශයෙන් කාවවත් නැති කරන්නවත් කාටවත් බලපෑමක් කරන්න යොදා ගත් එකක් නොවන බවට ඇමතිවරයා පැහැදිලි කර සිටියා.

හෙට දිනයේදී පැවැත්වෙන ජනබලය කොළඹට යන රැස්වීම උද්ඝෝෂණය සදහා තමන් සහභාගී වන බවට ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය දුමින්ද දිසානායක ඇමතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා.