Wednesday, May 8, 2024

General line - 0115112241

ජනතාව සමග රැය පහන් කරන්න හිටපු ජනපතිත් සූදානම්

තරංග රුක්ෂාන් ජයසේකර / සජිත් තිලකරත්න/ පසන් වික්‍රමතිලක/ ලහිරු කපුගේ /කසුන් කැළුම්




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව මේවනවිට කොළඹ ලේක්හවුස් වටරවුම අසලදී පැවැත්වෙනවා. ඊට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි විරෝධතාව ආවරණය කරන නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඔවුන් මේ වන විට එම ස්ථානයේ බිම වාඩිවී සත්‍යග‍්‍රහයක නිරත වී සිටිනවා. 

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව අද (05) පස්වරුවේ කොළඹ නගරයට පැමිණියේ මාර්ග 05කින්. පසුව ස්ථාන කිහිපයකට රැස්වූ ඔවුන් විරෝධතා පා ගමනින් කොළඹ ලේක්හවුස් වටරවුම දෙසට පැමිණීම ආරම්භ කළා. ඒ, පාසල් නිමවීමෙන් පසු සවස 03ට පමණයි. 

කොළඹ විහාරමහාදේවි උද්‍යානය, බොරැල්ල මංසන්ධිය, ටෙක්නිකල් හංදිය, සුගතදාස කී‍්‍රඩාංගනය හා කොටුව බෝගහ හංදිය අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක ගමනාගමන කටයුතුවලට එල්ල වූයේ දැඩි බාධාවක්. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ද විරෝධතා පාගමනින් ජනතාව සමග ගමන් කළා. 

විරෝධතාකරුවන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පසු කරයන අවස්ථාවේදී හූ කියමින් ඝෝෂා කරන අයුරුද දක්නට ලැබුණා. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විරෝධතා රැළියට එක්වුණේ කොටුව බෝගහ හංදිය අසලින්. මේ ඊට පෙර මාධ්‍ය ඇමතූ හිටපු ආරක්ෂක ලේකම්වරයා.

රැළිය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඉන්පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ජනබල රැළිය කිසිඳු බලවේගයකට නැවැත්විය නොහැකි බවයි. රැය පහන් වනතුරු තමාද විරෝධතාකරුවන් සමග රැඳී සිටින බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටකොටුව ප‍්‍රදේශයේදී ජන රැළියට එක්වුණේ ඉන් පසුවයි. 

පසුව සියලූ දෙනා ලේක්හවුස් වටරවුම අසලට පැමිණ ජන බල විරෝධතාව ආරම්භ කළා. එහිදී විරෝධතාවයට පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුලූ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් සහ ජනතාව ලේක්හවුස් වටරවුම අසල මාර්ගයේ වාඩිවෙමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකිවුණා.

මේ එහිදී රැුස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම.

රැුස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ කියා සිටියේ ආණ්ඩුව වහාම කඩිනම් මැතිවරණයකට යා යුතු බවයි.

මේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග.


විරෝධතාව පිළිබඳ අදහස් දක්වමින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තැබූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹට පැමිණෙන විරෝධතාකරුවන්ට නිදහස ලබා දෙන බවත්, ඔවුන් වැළැක්වීමට කටයුතු නොකරන බවත්ය. 

මේ අතර අද දවස පුරා කොළඹ නගරයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, තානාපති කාර්යාල මෙන්ම පාර්ලිමේන්තු සංකීර්ණය ද ඒ අතරින් ප‍්‍රධානයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ කැරලි මර්ධන ඒකකය ද ආරක්ෂාවට යොදවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.