Saturday, January 18, 2025

General line - 0115112241

පුරන් කුඹුරු හිමියන් ගැන කෘෂි ඇමතිගෙන් දැඩි තීන්දුවක්




ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ලබන 10 වන දින හම්බන්තොට දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්යි මහින්ද අමරවීර පවසනවා. දැනට අපේ රටේ තිබෙන පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 1,40,000 කි. නමුත් ඉන් කුඹුරු අක්කර 1,14,000ක්ම වගා කළ හැකි ඒවාය.

පසුගිය වසරේ කුඹුරු අක්කර 26,000ක් වගා කිරීමට පියවර ගනු ලැබී ය. නමුත් තාමත් වගා කළ හැකි කුඹුරු විශාල ප්‍රමාණයක් පුරන් වීමට ඉඩහැර ඇත. ඊළඟ මාස් කන්නය වන විට මෙම සියලු පුරන් කුඹුරු අස්වැද්දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ව විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත්, අමාත්යකවරයා සඳහන් කළා. ඒ ගන්නෝරුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී විශේෂ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙම පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ඊට කැමැත්ත දක්වන තරුණයින්ගේ සහයෝගය ලබා ගන්නා අතර ශ්‍රී ලංකා යුද හමුදාවද, සිවිල් ආරක්ෂක බලකාය යොදා ගනිමින් එම පුරන් කුඹුරුවල වී පමණක් නොව වගා කළ හැකි සෑම අතුරු බෝගයක්ම වගා කරන බව අවධාරණය කළේ ය.

බොහෝ පුරන් කුඹුරු පුරන්වීමට ඉඩහැර ඇත්තේ, ඒවායේ අයිතිකරුවන් විවිධ හේතූන් දක්වමිනි. එම කුඹුරු අයිතිකරුවන් හිතිමතාම කුඹුරු අස්වැද්දීම පැහැර හරින්නේ නම්, ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් දැනටමත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් එම ඉඩම් අයිතිකරුවන්ට සිහි කැඳවීමේ නිවේදන පවා නිකුත් කර ඇත.

මෙවර යල කන්නයේ දී අම්පාර හා පොළොන්නරුවේ කුඹුරු  අක්කර ප්‍රමාණයක් කීඩෑ උවදුරට ලක් වුණත්, ලැබෙන අස්වැන්න ඉහළ මට්ටමක පවතී. මොරගහකන්ද කළුගඟ ජලාශ මඟින් අඛණ්ඩවජලය ලබා දීම නිසා ලබන වසරේ දී වී අස්වැන්න අනිවාර්යයෙන්ම ඉහළ යන බව සඳහන් කළ අමාත්‍යවරයා සහල් අතිරික්තයක් පවා ඇතිවිය හැකි බව ද කීය. මෙම ප්‍රවෘත්ති  සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් බී විජයරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.