Friday, May 3, 2024

General line - 0115112241

බංග්ලාදේශ මෙල්ල නොවූ පිතිකරුවා සංගාගේ වාර්තාවත් කඩා යයි

කසුන් කැළුම්




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (15) රාති‍්‍රයේ සමත්වු අතර කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තාවක්ද එහිදී පසු කර ගියා.

ඒ අනුව බංග්ලාදේශයේ ඉනිම ඔසවා තැබූ මුස්ෆිකර් රහීම් විශිෂ්ඨ ඉනිමක් කි‍්‍රඩා කරමින් ලකුණු 144ක් රැස් කළා. මෙම ලකුණු සංඛ්‍යාව ආසියානු තරග වාර්තා අතරට එක්වූයේ කඩුළු රකින කි‍්‍රඩකයෙකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 2008 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 121ක් රැස් කරමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කුමාර් සංගක්කාරයි.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 137කින් පරාජය වුණා. තරගය පැවැත්වුණේ ඩුබායි කී‍්‍රඩාංගනයේදීයි.  

මෙය වාර්තා වූයේ බංග්ලාදේශය ශී‍්‍ර ලංකාවට එරෙහිව ලද දෙවන දැවැන්තම එක්දින ජයග‍්‍රහණය ලෙසයි. 

මේ අතර සුරංග ලක්මාල් යැවූ පන්දුවක් හමුවේ වම් අතේ ආබාධයකට ලක්වූ තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් වූ අතර පසුව අවසන් කි‍්‍රඩකයා ලෙස පැමිණි ඔහු සිය කණ්ඩායම වෙනුවෙන් එක් අතකින් පිත්ත හැසිරවීම කාගේත් කතාබහට ලක්වුණා. 

තවද වසරකට වැඩි කාලයක් එක් දින පිටියෙන් ඉවත්ව යළි කණ්ඩායමට පැමිණි ලසිත් මාලිංග තමන් යැවූ පන්දුවාර 10දී නිලකුණු පන්දුවාර 02ක් සමගින් ලකුණු 23කට බිඳ හෙලූ කඩුළු සංඛ්‍යාව 04ක්.

ලකුණු 262ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දු වාර 35 යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි. ඩිල්රුවන් පෙරේරා ලකුණු 29ක් සහ උපුල් තරංග ලකුණු 27ක් රැස් කළා. තරගයේ වීරයා ලෙස සම්මානය දිනා ගත්තේ අගනා ඉනිමක් කි‍්‍රඩා කළ මුශ්ෆීකර් රහීම්.