Tuesday, May 14, 2024

General line - 0115112241

කබඩි නිලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් ක්‍රීඩකයෝ අසරණ වෙයි




ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සමන් මීගස්තැන්න ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් සිය තනි තීරණ මත කි‍්‍රයා කරමින් සිටින බවට දිස්ති‍්‍රක් කබඩි සම්මේලන රැසක් චෝදනා නගනවා.

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ පැවැත්වෙන කබඩි තරගාවලියක් සඳහා තේරීම් කමිටු සාමාජිකයින්ගේ ව්‍යාජ අත්සන් යොදා කණ්ඩායමක් සහභාගි කරවීමේ උත්සහායක් පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් ඉකුත්දා කරුණු අනාවරණ කළා.

එහිදී කබඩි තේරීම් කමිටු සාමාජික පරාක‍්‍රම එ්කනායක සඳහන් කර තිබුණේ මෙම කී‍්‍රඩක ලැයිස්තුවේ අනුමැතිය ලබා ගැනීමට සිය අත්සනද කවුරුන් හෝ ව්‍යාජ ලෙස යොදා ඇති බවයි. කබඩි තේරීම් කමිටුවේ තවත් සාමාජික වන කේ. කේ. දසන්ත ද පවසා තිබුණේ තමන් ද එවැනි කණ්ඩායමකට අනුමැතිය දීම සඳහා සිය අත්සන නොයෙදූ බවයි.

කෙසේ වෙතත් ඊයේ (29) රැස් වූ විධායක කමිටු රැස්වීමේදී එම තරගාවලිය සඳහා කබඩි A කණ්ඩායමක් සහභාගි කරවීමට තීරණය වූ බවයි කබඩි සම්මේලනයේ ලේකම් සමන් මීගස්තැන්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

මෙම විධායක කමිටු රැස්වීමට සහභාගි නොවූ දිස්ති‍්‍රක් කබඩි සම්මේලන නියෝජිතයන්ගේ අනුමැතිය ලබා ගැනීමට දුකතනය ඔස්සේ ලේකම්වරයා අදහස් විමසා ඇති බවයි රත්නපුර දිස්ති‍්‍රක් කබඩි සම්මේලනයේ සභාපති සනත් සමරසේකර කියා සිටියේ. 

කෙසේ වෙතත් මෙම විධායක සභා රැස්වීමට දිස්ති‍්‍රක් සංගම් ඇතුලූ නියෝජිතයින් 31 දෙනාගෙන් 9 දෙනෙකු පමණක් සහභාගි වී ඇති බවයි කුරුණෑගල දිස්ති‍්‍රක් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ කියා සිටියේ.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් කබඩි සම්මේලනයේ ලේකම් සමන් මීගස්තැන්නගෙන් විමසීමක් කළා.

එහිදී "සභාපතිතුමා රට ඉන්නවයි කියලා තමයි මට දැනුම්දීලා තියෙන්නේ.. නමුත් එයා ලංකාවේ ඉන්නවාද නැද්ද කියලා මම දන්නේ නෑ. අදාළ තරගාවලියට සහභාගි කරවන කණ්ඩායම පිළිබඳව මම ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දෙනවා. ඒගොල්ලෝ අවසර දුන්නොත් කණ්ඩායම තරගයට සහභාගී වෙයි..නැත්නම් යන්නේ නෑ." යනුවෙන් සඳහන් කළා.

කේරළ ප‍්‍රාන්තයේ පැවැත්වෙන කබඩි තරගාවලියක් සඳහා ජාතික කණ්ඩායමක් සහභාගී කරවීම මෙම අවස්ථාවේ සිදු නොකළ යුතු බවයි රත්නපුර දිස්ති‍්‍රක් කබඩි සම්මේලනයේ සභාපති සනත් සමරසේකර කියා සිටියේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී කරවීමෙන් අනාගතයේ ශ්‍රී ලංකා කබඩි විනාශවීමේ හැකියාවක් ඇති බවයි ඔහු සඳහන් කළේ. පසුගියදා ආසියානු තරගාවලියේදී පිරිමි කණ්ඩායමත් කාන්තා කණ්ඩායමත් පරාජයට පත් වූ බවත් එවන් අවස්ථාවක යළිත් මෙවැනි තරගාවලියකට සහභාගීවීම සුදුසු නොවන බවත් පෙන්වා දුන්නා.