Sunday, May 5, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත්කිරීම තවදුරටත් ප‍්‍රමාද වෙයි




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ පුරප්පාඩු සදහා නම් කළ යුතු සාමාජිකයන් පිළිබද මෙතෙක් අවසන් තීරණයක් කතානායකවරයා වෙත ලැබී නොමැති බව කතානායක මාධ්‍ය අංශය පවසනවා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සාමාජිකයන් සංඛ්‍යාව 10 ක්. කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්‍ෂ නායකවරයා නිල බලයෙන් ඊට පත් වනවා. එහි තවත් සාමාජිකයෙකු ජනාධිපතිවරයා විසින් සිය නියෝජිතයා ලෙස පත් කළ යුතුයි. තවත් සාමාජිකයන් පස් දෙනෙකු නම් කළයුතු වන්නේ අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්‍ෂ නායකවරයාගේ එකගත්වයෙන් යුතුවයි. එම පස්දෙනා අතරට සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙකුද ඇතුළත් විය යුතු වනවා. ඒ හැරුණු කොට අගමැතිවරයා සහ විපක්‍ෂ නායකවරයා නියෝජනය නොකරන පක්‍ෂ හා කණ්ඩායම් වෙනුවෙන් එම පක්‍ෂ හා කණ්ඩායම් විසින් තවත් සාමාජිකයෙකු පත්කළ යුතුයි.

අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්‍ෂ නායකවරයා නම් කළ යුතු සාමාජිකයන් පස් දෙනා සහ සෙසු පක්‍ෂ හා කණ්ඩායම් නම් කළයුතු සාමාජිකයා පිළිබද අවසන් තීරණයක් කතානායකවරයා වෙත මෙතෙක් ලැබී නොමැති බවයි කතානායක මාධ්‍ය අංශය පැවසුවේ. අදාළ පත් කිරීම් සදහා නාමකරණයන් කතානායකවරයා වෙත ලැබුණු වහාම එය ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට කටයුතු කරන බවද කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන්.