Thursday, May 9, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක වැලි ප්‍රවාහන බලපත්‍රය ගැන තවත් තොරතුරු රැසක් එළියට

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




තෙබුවන පොලිස් සැරයන්වරයාගේ ආන්දෝලනාත්මක සිද්ධියට බලපෑ වැලි ප‍්‍රවාහන බලපත‍්‍රයේ නීත්‍යානුකූල භාවය පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සිදු කළ විමර්ශනයකදීයි. 

තමන් අත්අඩංගුවට ගත් වැලි ප‍්‍රවාහන ටිපර් රථයක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නිදහස් කළ බවට චෝදනා කරමින් මෙම පොලිස් සැරයන්වරයා ඉකුත්දා තෙබුවන නගර මධ්‍යයේ නොසන්සුන් ලෙස හැසිරුණා. ඒ, ගිනි අවියක් ද ළග තබා ගනිමින්. ඔහු චෝදනා කළේ අදාළ ටිපර් රථයේ තිබූ වැලි ප‍්‍රවාහන බලපත‍්‍රය සම්බන්ධයෙන් ගැටළුවක් තිබූ බවයි.

ඒ අනුවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළේ.

එහිදී අනාවරණ වූ කරුණු පිළිබඳ නෙත් නිවුස් වෙත පැහැදිලි කළ එම කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල පෙන්වා දුන්නේ අදාළ පොලිස් නිලධාරීයා 2015 වේදී නිකුත් කරන ලද චක්‍රලේකයක් නොදැන එළඹුනු නිගමනයක් නිසා මෙම ගැටලුව ඇති වී තිබෙන බවයි.

මෙම ගැටළුවේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ පාර්ශ්වයෙන් ද යම් අඩුපාඩුවක් සිදුව ඇතැයි තමා පිළිගන්නා බවයි සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

අදාළ නොසන්සුන් සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් තෙබුවන පොලිසියේ සැරයන්වරයා හෙට (09) දිනය දක්වා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුට සාධාරණයක් ඉටු කරන ලෙසට බල කරමින් ප‍්‍රදේශවාසීන් ඊයේ (07) විරෝධතා ව්‍යාපාරයක ද නිරත වුණේ තෙබුවන මංසන්ධියේදීයි.