Thursday, May 9, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් පුද්ගල මරණ 9ක්

ඩිල්ෂාන් මඩවල




මහ වැසි සමග ඇතිවූ ජල ගැලීම් සහ වෙනත් ආපදා හේතුවෙන් මේවනවිට පුද්ගලයින් 09දෙනෙකු මිය ගොස් තිබෙනවා. මරණ 04ක් වාර්තා වන්නේ කලූතර දිස්ති‍්‍රක්කයෙන්. රත්නපුර සහ ගාල්ල යන දිස්ති‍්‍රක්කවලින් මරණ 02 බැගින්ද, කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් එක් මරණයක්ද වාර්තා වනවා. ගංවතුරට ගසාගෙන යාමෙන් ගස් කඩාවැටීමෙන් හෝ අකුණු අනතුරු වලින් මෙම මරණ සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව 48,918ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ති‍්‍රක්ක 13ක වැසියන් මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ. පවුල් 1318කට අයත් පුද්ගලයින් 5,834දෙනෙකු මේවනවිටත් තාවකාලික කඳවුරු වල නවාතැන් ගෙන සිටිනවා. ඔවුන් වෙනුවෙන් තාවකාලික කඳවුරු 21ක් පවත්වාගෙන යන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ. 

මේ එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් 

මහ වැසි සමග ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ කිහිපයක වාන් දොරටු මේවනවිටත් විවෘතව පවතිනවා. රාජාංගනය, දැදුරු ඔය සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු එලෙස විවෘතව තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ අතර කලූගගේ ජල මට්ටම මිල්කන්ද ප‍්‍රදේශයේදී ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. එහි ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. ගිංගගේ ජල මට්ටම ද බද්දේගම ප‍්‍රදේශයේදී ගංවතුර මට්ටමට පැමිණ තිබෙනවා. 

ජාතික ගොඩනැගිල් පර්යේෂණ ආයතනය පවසන්නේ දිස්ති‍්‍රක්ක 04ක තවදුරටත් නායයාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවධානමක්ද පවතින බවයි. කලූතර, ගාල්ල, බදුල්ල සහ කෑගල්ල එම දිස්ති‍්‍රක්ක වනවා. ඒ අනුව නායයාම් ලක්ෂණ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම දිස්ති‍්‍රක්කවල වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ගස් ඇලවීම, බිත්ති ඉරි තැලම හෝ ආගන්තුන දිය උල්පත් මතුවීම වැනි ලක්ෂණ හඳුනාගත හොත් වහාම එවැනි ස්ථානවලින් ඉවත් වන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අකුණු අනතුරු වළක්වා ගැනීමටද මේදිනවල විමසිලිමත් විය යුතු බවයි. මුහුදු ප‍්‍රදේශවල ඇතිවිය හැකි තද සුළං පිළිබඳ ධිවර හා නාවික ප‍්‍රජාව විමසිලිමත් විය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේදී වැසි තවත් වැඩිවිය හැකි බවයි. මේ එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක.

මේ අතර අද (08) උදෑසන 8.30 සිට දහවල් 2.30 දක්වා පැය 06 කාලයේදී කොළඹට මිලි මීටර් 35.1 ක වර්ෂාවක් ලැබී තිබෙනවා. බණ්ඩාරවෙලට මිලි මීටර් 30.4 ක වර්ෂාවක් ලැබී ඇති බවයි කාලගුණ දත්ත වල දැක්වෙන්නේ.