Friday, May 10, 2024

General line - 0115112241

යාපනයේ විශේෂ මෙහෙයුමක් (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් වරින් වර දියත් කිරීමට පටන් ගෙන ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටිනවා.

යාපනයේ ක්‍රියාත්මක විවිධ කල්ලි වලට අයත් සාමාජිකයින් කීප දෙනෙකු තවමත් යාපනයේ ප්‍රදේශ කීපයක සැගවී සිටින බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් දියත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

ගතවූ මාස හතර ඇතුලතදී  යාපනයේ ක්‍රියාත්මකවූ වූ ප්‍රධාන කල්ලි පහකට අයත් සාමාජිකයින් 58 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පැවති බිහිසුණු තත්ත්වය පහව ගොස් තිබූ අතර යළිත් වරක් යාපනයේදී පුද්ගලයින් දෙදෙනෙකුව කපා තුවාල සිදුකිරීමත් ගුරුවරියක සතු ස්වර්ණාභරණ තොගයක් කොල්ල කෑමත් යන සිද්ධීන් වලට යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් සම්බන්ධ බවට පොලීසියට ලැබුණු තොරතුරු නිසා ඔවුන්ව සොයා එම මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙයි.

මෙම මෙහෙයුම් කලින් නොදන්වා එක්වරම  සිදු කෙරෙන අතර යාපනයේ චුන්නාකම්, තෙලිප්පලෙයි,මනිපායි චාවාකච්චේරී යන පළාත් ආවරණය වන පරිදි එම මෙහෙයුම් දියත් කරණු ලබන්නේ යාපනයේ ක්‍රියාත්මක කල්ලි සාමාජිකයින්ගේ ක්‍රියාකාරිත්වයන් වැඩි වශයෙන්ම එම ප්‍රදේශවලට නැඹුරු වී තිබීම හේතුවෙන් බව සදහන්.