Monday, April 29, 2024

General line - 0115112241

මුදලට තරග පාවා දීමේ සිද්ධි රැසක් හෙළිකරමින් නවතම වීඩියෝ පටයක් කරළියට (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




තරග පාවා දීමේ සිදුවීම් සම්බන්ධයෙන් අල්-ජසිරා මාධ්‍ය ආයතනය විසින් සිදුකළ ගවේශනාත්මක දෙවන වීඩියෝ පටය එළි දක්වා තිබෙනවා. අනිල් මුනාවර් නම් වූ ඉන්දියානු බුකිකරුවෙක් විසින් 2011-2012 වර්ෂයන් හිදී ඔට්ටු තබන ලද මුදලට තරග පාවා දීමේ සිදුවීම් මෙම වීඩියෝ පටය මගින් හෙළිකර තිබෙනවා.

අල්-ජසිරා රූපවාහිනී සේවය සදහන් කරන්නේ මෙම මුදලට තරග පාවා දීමේ සිදුවීම් වලට එංගලන්ත, ඕස්ට්‍රේලියා සහ පාකිස්ථාන ක්‍රීඩකයින් සම්බන්ධව ඇති බවයි.

2011-2012 තරග වාරයේදී එංගලන්ත ක්‍රීඩකයින් තරග හතකදී, ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් තරග 5කදී, පාකිස්ථාන ක්‍රීඩකයින් තරග 3 කදී මෙලෙස මුදලට තරග පාවා දීමට සම්බන්ධව ඇති බවයි අල්-ජසිරා මාධ්‍ය ආයතනය සිය ගවේෂණය මගින් හෙළිකර ගෙන ඇත්තේ. එම කාල සීමාවේදී පවත්වන ලද එක්දින තරග 6කදී, ටෙස්ට් තරග 6කදී සහ විස්සයි විස්ස තරග 3 කදී මෙලෙස මුදලට තරග පාවාදීම් සිදුවී තිබෙනවා.

තරග 15 කදී මෙම මුදලට තරග පාවාදීම් සිදුව ඇති අතර එහිදී අනිල් මුනාවර් නම් බුකිකරු විසින් තරගයන්ට පෙර ලබා දුන් තොරතුරු 26 න් 25ක්ම ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවයි අල්-ජසිරා මාධ්‍ය ආයතනය සදහන් කරන්නේ.

අනිල් මුනාවර් නම් බුකිකරු සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි, රෝහිත් ෂර්මා, ලක්ෂ්මිපති බාලාජි සහ අනිල් මුනාවර් ගේ සහයකයෙක් පාකිස්ථාන ක්‍රීඩක උමාර් අක්මාල් සමග සිටියදී ගත් ජයාරූප කිහිපයක්ද එළි දක්වා තිබෙනවා. නමුත් මෙම ක්‍රීඩකයින් ඔට්ටු තබන්නන් සමග සෘජු සම්බන්ධකම් පැවැත්වූ බවට වන හෙළිදරව්වක් නොමැති බවයි අල්-ජසීරා මාධ්‍ය ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ.

2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයේදී ද තරග පාවා දීම් සිදුවන්නට ඇති බව අල්-ජසිරා මාධ්‍ය ආයතනය සදහන් කරනවා.

මෙලෙස තරග පාවා දීම් සිදුවූ තරග පිළිබද විස්තර පහතින් දැක්වේ.

1) ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර එක්දින තරගය (21.01.2011)
2) ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගය - ලෝක කුසලාන තරගාවලිය (21.02.2011)
3) එංගලන්තය සහ නෙදර්ලන්තය අතර එක්දින තරගය - ලෝක කුසලාන තරගාවලිය ( 22.02.2011)
4) ඕස්ට්‍රේලියාව සහ කෙන්යාව අතර එක්දින තරගය - ලෝක කුසලාන තරගාවලිය (13.03.2011)
5) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගය - ලෝක කුසලාන තරගාවලිය (06.03.2011)
6) එංගලන්තය සහ බංග්ලාදේශය අතර එක්දින තරගය -ලෝක කුසලාන තරගාවලිය (11.03.2011)

7) එංගලන්තය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය (21-25.07.2011)
8) දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගය (09-11.11.2011)
9) ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගය (09-12.12.2011)
10) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය ( 17-19.01.2012)
11) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය ( 25-28.01.2012)
12) එංගලන්තය සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගය (03-06.02.2012)

13) ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 තරගය - ලෝක කුසලාන (18.09.2012)
14) එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි 20 තරගය - ලෝක කුසලාන (21.09.2012)
15) දකුණු අප්‍රිකා සහ පාකිස්ථානය අතර විස්සයි 20 තරගය - ලෝක කුසලාන (28.09.2012)