Monday, April 29, 2024

General line - 0115112241

අගමැති රනිල් ගෙනා යෝජනාව TNA සහ JVP ප්‍රතික්ෂේප කරයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ කරගත් නව සන්ධානයට තමන් සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පවසනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (17) පැවති රැළියේදී ප‍්‍රකාශ කළේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් නව පුළුල් සන්ධානයක් ලියාපදිංචි කරන බවයි. 

මෙම නව සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය ද අනිවාරයෙන්ම එක්වනු ඇති බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ මෙම පක්ෂ දෙකට සහයක් ලෙස නව සන්ධානය ගොඩනැගෙන බවයි. 

නව සන්ධානය සමග ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය එක් කර ගැනීමේ අදහසක් ඇත්දැයි නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් සඳහන් කළේ "අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය බොහෝ අය වැරදි ලෙස අර්ථකතනය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පෙනී සිටින සියලු පක්ෂ එක කඳවුරක් ලෙස මේ සටනේ නිතර වුණා වගේම ඉදිරියේදීත් ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටින්න ඒ වගේ කඳවුරක් බිහිවීම වැරදි දෙයක් නෙමෙයි. එහෙම නොවුනොත් ප්‍රජාතන්ත්‍ර විරෝධීන් මේ රටේ බලය අත්පත් කර ගන්නවා. ඒ කඳවුරේ ප්‍රජාතන්ත්‍රවාදය හැර වෙනත් කිසිම කොන්දේසියක් නැත." යනුවෙනි.

එහෙත් තම පක්ෂය කිසි ලෙසකින් හෝ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ මෙම සන්ධානයට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කළා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ "එක්සත් ජාතික පක්ෂය හෝ එම පක්ෂය මුල්වෙලා හදන කිසිම දේශපාලන සන්ධානයකට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්නේ නෑ.  එජාපයේ සහ ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය අතර බරපතල වෙනස්කම් තිබෙනවා. දැන් ඔය ශ්‍රීලංකාකාරයෝ කියලා හිතන් ඉන්න අය හෙට අනිද්දාට බලය වෙනුවෙන් පිල් මාරු කරන හැටි බලා ගන්න පුළුවන්." යනුවෙනි. 

දෙමළ ජාතික සන්ධානය ද ප‍්‍රකාශ කළේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ හා එක්නොවන බවයි. විපක්ෂ නායක ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මේ බව කියා සිටියා.

එහිදී "විපක්ෂනායක පත් කරනවා කියලා ප්‍රකාශ කළාම අපි ඒකට විරුද්ධ වුණා. ඒ නිසා ඒ ගැන අවසන් තීරණය සිකුරාදට දෙනවා කියලා කිව්වා. අපි තමයි ප්‍රධාන විපක්ෂය." යනුවෙන් සඳහන් කළා. 

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයට අදාළ යෝජනාව ලබන සිකුරාදා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.