Thursday, May 16, 2024

General line - 0115112241

නව මාර්ගයේ දුම්රිය ධාවන සිංහල අලුත් අවුරුද්දට පෙර - අමාත්‍ය අර්ජුණ රණතුංග (PHOTOS)

ටී කේ මහින්ද




බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද ඇතිවූ විරෝධයෙන් පසු අමාත්‍ය අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

ජනතාවගේ බදු වලින් තමයි මේ සංවර්ධනය කරන්නේ. මම ආස නැහැ මේවා දේශපාලනීකරණය කරන්න. හොරකම් කරපු ප්‍රාදේශීය සභාවල සිටින පුද්ගලයින් ගේ ක්‍රියා මාර්ග ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි ඉන්නේ ජනතා සේවයට මිසක් හොරකම් කරපු ප්‍රාදේශීය සභාවල ඉන්න අයට සේවය කරන්න නෙමෙයි. ඒ ගැන මට කලකිරීමක් තියෙනවා. මේ හදන්නේ 2015 ට කලින් තිබුණු තත්ත්වය යලිත් රට ඇතුලත ඇති කිරීමේ උත්සාහයක්. නමුත් අපි ඒකට ඉඩ ලබා දෙන්නේ නැහැ. ගුවන් තොටුපළ සහ වරාය ගැන ගැටළු කිහිපයක් තියෙනවා. නමුත් දුම්රිය මාර්ගය දෙවන අදියර ඇරඹීම ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා කරනවා යැයි මෙහිදී ඇමතිවරයා කියා සිටියා.

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමු වරට අද දිනයේ නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය කෙරුණු අවස්ථාවේයි අමාත්‍ය අර්ජුන රණතුංගට මෙලෙස විරෝධයක් එල්ල වුණේ. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරන ආධාරකරුවන් පිරිසක් විරෝධතා පුවරු රැගෙන අමාත්‍ය අර්ජුන රණතුංගට විරෝධය පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර මෙම දුම්රිය මාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.

අපිට බලාපොරොත්තුවක් තියෙනවා අලුත් අවුරුද්දට කලින් දුම්රිය ධාවනය ආරම්භ කරන්න. ඒ නිසයි අද මේ වගේ පරික්ෂා දුම්රියක් ධාවනය කෙරුවේ. දුම්රිය සංඥා පද්ධතියේ යම් ඉදිකිරීමේ වැඩකටයුතු කිහිපයක් තියෙනවා බෙලිඅත්ත වෙනකම්. ඒ ටික ඉක්මනට අවසන් කර ගන්නයි බලන්නේ. ඊට පස්සේ දුම්රිය ධාවනය සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සියල්ල මේ වන විට සුදානම් කරලා අවසන් යැයි ඇමතිවරයා කියා සිටියා.

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර තුනකින් සිදු වනවා. එහි පළමු අදියර මාතර සිට බෙලිඅත්ත දක්වාත්, දෙවැනි අදියර බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත්, තුන්වන අදියර හම්බන්තොට සිට කතරගම දක්වාත්, ඉදි කිරීමට නියමිතයි.