Saturday, May 4, 2024

General line - 0115112241

තහනම් උත්තේජක ගත් කබඩි ක්‍රීඩිකාව පරික්ෂණයට එන්න බෑ කියයි

කසුන් කැලුම්




තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ කබඩි ක‍්‍රීඩිකා සචිනි මනෝරි ‘බී’ සාම්පල පරීක්ෂණයකට සහභාගි නොවන බව උත්තේජන මර්දන නිවාරණ ආයතනය වෙත ඊයේ (25) දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත් තහනම් උත්තේජක චෝදනාවට ලක් ව සිටින කබඩි ක‍්‍රීඩක චාමර නුවන් චතුරංග ඊයේ දිනයේ උත්තේජන මර්දන නිවාරණ ආයතනය හමුවේ පෙනී නොසිටි බවයි එහි නියෝජිතයෙකු පැවසුවේ. ඒ අනුව මොවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විනය කමිටුව විසින් තීරණයක් ගනු ඇති. සිතාමතාම මෙම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව තහනම් උත්තේජක ලබා ගන්නට ඇති බවටයි දැනට සැක පළව ඇත්තේ.

ඉකුත්දා පොළොන්නේරුවේ පැවති ජාතික මහා කි‍්‍රඩා උළෙලේදී ඔවුන්ගෙන් ගත් මුත‍්‍ර සාම්පලවල තහනම් උත්තේජක සංඝටක අඩංගු බව තහවුරු වී ඇතැයි උත්තේජන මර්දන නිවාරණ ආයතනය ඉකුත්දා අනාවරණ කළා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගරයක කළ පරීක්ෂණයක් අනුවයි. මෙලෙස තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇත්තේ සබරගමුව පළාත නියෝජනය කළ සචිනි මනෝරි ජයසිංහටයි. ඇය නිමා වූ ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී දක්ෂතම කබඩි කී‍්‍රඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තා. එමෙන්ම ඇය ආසියානු සහ දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවද නියෝජනය කර තිබෙනවා.

තහනම් උත්තේජක චෝදනාව එල්ල වී ඇති කී‍්‍රඩකයා වන්නේ දකුණු පළාත නියෝජනය කළ චාමර නුවන් චතුරංගයි. ඔහුද දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයෙක්. තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීම හේතුවෙන් මොවුන් දෙපළට තාවකාලික තරග තහනමක් පැන වූ බවයි උත්තේජන මර්දන නිවාරණ ආයතනය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.