Sunday, May 5, 2024

General line - 0115112241

ත්‍යාග මුදල් තවමත් නෑ - පැරා පදක්කම් ලාභීන්ගෙන් ක‍්‍රීඩා ඇමතිට මැසිවිලි

කසුන් කැළුම්




මෙවර ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී පදක්කම් දිනූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කි‍්‍රඩා අමාත්‍යංශය ලබාදෙන බව කියූ මුදල් ත්‍යාග මෙතෙක් ලබා දී නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.

මෙවර ආසියානු පැරා කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාව පදක්කම් 14ක් දිනා ගනිමින් රටවල් 42ක් අතරින් පදක්කම් සටහනේ 14 වන ස්ථානය දිනා ගත්තේ පැරා මලල කී‍්‍රඩා ඉතිහාසය අලූත් කරමින්.

ශී‍්‍ර ලංකා පදක්කම් අතරට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළත් වුණා. 

හිටපු කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පදක්කම් දිනු පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදල් ත්‍යාග ලබාදෙන බව පොරොන්දු වී තිබූ බවයි එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ. කෙසේ වෙතත් ඉකුත් සමයේ ඇති වූ දේශපාලන වාතාවරණයක් සමග එම පොරොන්දුව වචනයයට පමණක් සීමා වී ඇති බවද ඔවුන් සදහන් කළා.

දැඩි කැපවීමකින් පුහුණුවිම් කර ආසියානු පදක්කම් සිහිනය සැබෑ කරගත් එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කී‍්‍රඩා අමාත්‍යංශ බලධාරීන් විසින් කුඩම්මාගේ සැලකිලි දැක්වීම කනගාටුවට කරුණක්.  

මේ පිළිබදව වත්මන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගෙන් නෙත් ස්පෝර්ට්ස්මන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ හිටපු ක‍්‍රීඩා බලධාරීන් විසින් ක‍්‍රීඩා අරමුදලේ තිබූ මුදල් අනවශ්‍ය ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ඔවුන්ට මෙම මුදල් ලබාදීම ප‍්‍රමාද වී ඇති බවයි. 

රුපියල් මිලියන ගණනක මුදල් තිබූ ක‍්‍රීඩා අරමුදලේ මේ වනවිට පවතින්නේ රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් බවයි අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

දැල් පන්දු ආසියානු ශූරියන් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්ට ද මෙතෙක් පොරොන්දු වූ මුදල් ත්‍යාග ලබාදීමට හැකි වී නැහැ. පදක්කම් දිනූ පැරා මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ ආසියානු ශූරතාව දිනූ 
ශ‍්‍රී ලංකා දැල් පන්දු ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබාදීම සදහා තමන් වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ජාතික ක‍්‍රීඩා අරමුදලේ මුදල් අදහාගත නොහැකි ලෙස හිගවීම සම්බන්ධයෙන් ද තමන් විගණන වාර්තාවක් කැදවූ බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.