Saturday, May 4, 2024

General line - 0115112241

දැරිය කළාඔයට දැමු මවගෙන් පැය 48ක් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර : දැරියගේ සිරුර මෙතෙක් හමුවී නැහැ

ජූඞ් සමන්ත/ කසුන් කැලූම්




සිව් හැවිරිදි සිය දියණිය ඝාතනය කර කලාඔයට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කරුවලගස්වැව, නීලබැම්ම ගම්මානයේ මවගෙන් පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්ණ කිරීමට පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද (04) අවසර හිමිවුණා. අදාළ මව ඒ පිළිබඳ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ. අදාළ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළ බවයි පොලීසිය පැවසුවේ. දැරියගේ මව මනෝවෛද්‍යවරයෙකු හමුවට යොමු කිරීමට ද කටයුතු කරන බව පොලීසිය කියා සිටියා.

ඉකුත් 30වනදා මෙම දැරිය පෙරපාසල් යාමට සූදානම් කරමින් සිටින අවස්ථාවේ ඇතිවූ කෝපයක් නිසා මව විසින් පහරක් එල්ල කර තිබෙනවා. එහිදී දැරිය සිහිමූර්ජා වී ඇති අතර යළි සිහිය නොපැමිණීම හේතුවෙන් තමන් දැරියව කලාඔයට විසි කළ බවයි මව විසින් පොලීසියට පාපොච්චාරණය කර තිබුණේ. මව විසින් සිදු කළ ඇතැම් ප‍්‍රකාශවල පරස්පරතා ද තිබූ බව ද පොලීසිය පැවසුවා. ඉකුත් දින කිහිපයේදීම දැරියගේ සිරුර සොයා කලාඔය  ඕලූමඩුව ප‍්‍රදේශයේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කළ ද, එහිදී ද දැරියගේ සිරුර සොයා ගැනීමට හැකිවූයේ නැහැ. දැරියගේ සිරුර සතෙකුගේ ගොදුරක් වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

වර්ෂාව හේතුවෙන් කලාඔයේ දැරියගේ සිරුර සොයා කළ මෙහෙයුම්වලට අද දිනයේ බාධා එල්ල වුණා. ඒ අනුව එම මෙහෙයුම් හෙට උදෑසන යළි ආරම්භ කරන බවයි සාලියවැව පොලීසිය පැවසුවේ.