Saturday, May 4, 2024

General line - 0115112241

චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි ?

කසුන් කැලුම්




සිය පිතිකරණයේ පවතින දුර්වලතා මග හරවා ගනිමින් ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් නායක දිනේෂ් චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. සිය පිතිකරණය හැකියාව වැඩිදියුණු කර ගැනීම සදහා දිනේෂ් චන්දිමාල්  දේශීය ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින ජේෂ්ඨ ක්‍රීඩකයෙකු නායකත්වය සදහා පත් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා. 

චන්දිමාල් ගේ මෙම තීරණය සම්බන්ධයෙන් නෙත් ස්පොර්ට්ස්මන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි අසංක ගුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා. ඔවුන් සඳහන් කලේ දිනේෂ් චන්දිමාල් මේ පිළිබඳව මෙතෙක් තමන් වෙත නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුලත් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා. ඉකුත් දිනවල ශ්‍රී ලංකාවේ පැවති අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ජාතික කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (05) ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නව දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා නම් කරන ලද සංචිතය ඔහුගේ අනුමැතියට යැවීමට නියමිතව තිබෙනවා.