Friday, May 10, 2024

General line - 0115112241

DIG නාලක , අමල් සහ මධූෂ් අතර සබඳතා ගැන CIDයෙන් විමර්ශණ

අධිකරණ වාර්තාකරු/සමන්ත කුමාර




ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක  ද සිල්වා , ගායන ශිල්පී අමල් පෙරේරා සහ මාකඳුරේ මධූෂ් අනනොන්‍ය සම්බන්ධතා පවත්වා ඇත්දැයි විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දියානු ජාතිකයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. 

2016 වසරේ ජූලි මස 21වනදා අමල් පෙරේරා, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ කාර්යාලයට පැමිණ ඔහු හමුවී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය දැනුම් දුන්නේ. එම අවස්ථාවේදී එහි රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමට පැමිණියේ කුමකටදැයි අමල් පෙරේරාගෙන් විමසා තිබෙනවා.

ඉන් කෝපයට පත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ පොලිස් කොස්තාපල්වරයාට විනය පරීක්ෂණයක් සිදු කර ස්ථාන මාරුවක්ද ලබා දී ඇති බවයි අධිකරණයේදී අනාවරණ කෙරුණේ. 

ඒ අනුව නාලක ද සිල්වා, ගායන ශිල්පී අමල් පෙරේරා සහ මාකඳුරේ මධූෂ් අතර සම්බන්ධතා පැවතියේ දැයි ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික සැකකරු මේ මස 27වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කළේ.