Sunday, May 5, 2024

General line - 0115112241

කි‍්‍රස්මස් දූපත සරණාගතයින්ට යළි විවාත කිරීමට ඔස්ටේලියානු බලධාරීන්ගෙන් තීරණයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවට අයත් කි‍්‍රස්මස් දූපතේ පිහිටි මතභේදාත්මක සරණාගත රැඳවුම් කඳවුර යළි විවෘත කරන බව ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පතකින් රජය පරාජයට පත්වීම හමුවේ අග‍්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹි බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඔස්ටේ‍්‍රලියාවට අයත් සරණාගත කඳවුරු තුළ වෙසෙන වැසියන් රෝගී වූ පසු ප‍්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත්ව තිබුණා. එහිදී මන්තී‍්‍රවරුන් බහුතරයක් ඡන්ද ලබා දි තිබුණේ රෝගීවන සරණාගතයින් ඔස්ටේ‍්‍රලියාවට රැගෙන ඒම සඳහා නිර්දේශ කිරීමේ බලතල වෛද්‍යවරුන්ට ලබා දිය යුතු බවයි. 

අදාළ පනත සඳහා අග‍්‍රාමාත්‍ය මොරිසන් විරුද්ධ වුවත්, එය පරාජය කිරීමට අවශ්‍ය බහුතර ඡන්ද ප‍්‍රමාණය හිමිවූයේ නැහැ. එබැවින් මතභේදාත්මක කි‍්‍රස්මස් දුපත යළි විවෘත කිරීමට අග‍්‍රාමාත්‍ය මොරිසන් තීරණය කර තිබෙනවා.

2013 වසරේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටු හරහා සිය රටට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරණ සරණාගතයින් පැපුවා නිව්ගිනියාව, කි‍්‍රස්මස් සහ නාවුරු යන දූපත් වල පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථානවලට යොමු කිරීමට ඔස්ටේ‍්‍රලියාව පියවර ගත්තා.