Wednesday, May 1, 2024

General line - 0115112241

අර්තාපල් වර්ග දෙකක් මිශ්‍ර කළ දැවැන්ත වංචාවක් ගැන තොරතුරු සොයයි

සජිත් තිලකරත්න




මෙරට ගොවීන්ගෙන් නෙලාගත් අර්තාපල් සහ විදෙස් රටවලින් ගෙන් වූ අර්තාපල් එකට එක්කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සමූපකාර කොමසාරිස් යටතේ ක්‍රියාත්මක වන කෝප්ෆෙඞ් නම් වූ ආයතනයක් ඊට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. එම ආයතනය ඉකුත් යල කන්නයේ දී වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගෙන් පමණක් අර්තාපල් කිලෝ ලක්ෂ 20ක් ලබාගෙන ඇතැයි දැනුම් දී තිබෙනවා.

එහෙත් වැලිමඩ ප්‍රදේශයෙන් එතරම් අර්තාපල් අස්වැන්නක් ලබාගත නොහැකි බවයි ප්‍රකාශ වන්නේ. 

මෙරට ගොවීන්ගෙන් අර්තාපල් කිලෝවක් ලබා ගන්නේ රුපියල් 92කටයි. එවන් පසුබිමක කිලෝවක් රුපියල් 40ත් 50ත් වැනි මිලකට විදේශ රටවලින් අර්තාපල් ගෙන්වා මෙරට ගොවීන්ගෙන් ලබාගත් අර්තාපල් හා ඒවා මිශ්‍ර කර ඇති බවයි හෙළි වී ඇත්තේ. මෙරට ගොවීන්ගෙන් අර්තාපල් කිලෝ ලක්ෂ 20ක් මිලදී ගත් බව පවසා ආණ්ඩුවෙන් මුදල් ලබා ගැනීමට අදාළ ආයතනය උත්සහ දරා ඇති බවට වාර්තා පළ වනවා. 

මේ සම්බන්ධයෙන් ඉකුත්දා පැවති ජීවන වියදම් කමිටුවේ දී ද සාකච්ඡා වී තිබෙනවා. මෙවන්නැක් සිදු වූයේ කෙසේදැයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී ප්‍රශ්න කර ඇතැයි සඳහන්. ඒ අනුව මෙම වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් ද පත් කිරීමටයි එහිදී තීරණය කර ඇත්තේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙරට ගොවීන්ගේ අර්තාපල් මිලදී ගැනීම සිදු කළේ කෝප්ෆෙඞ් ආයතනය බවයි. පත්කර ඇති කමිටුව විසින් ඒ පිළිබඳ සොයාබලා ඉදිරියේ වාර්තාවක් ලබාදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.