Monday, May 6, 2024

General line - 0115112241

හෙළ ඉතිහාසය නැවත සිහි කරනා "රාවණා - වන්" චන්ද්‍රිකාව අභ්‍යවකාශයට

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලාංකේය අභ්‍යවකාශ ක්‍ෂේත‍්‍රයේ ජයග‍්‍රහණයක් සටහන් කරමින් ශී‍්‍ර ලාංකේය ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු විසින් නිර්මාණ කෙරුණු ‘‘ රාවණා - වන් ’’ චන්ද්‍රිකාව රැගත් අභ්‍යවකාශ යානය අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වනවා. මෙම අභ්‍යවකාශ යානය රැගත් රොකොට්ටුව පෘථිවියෙන් නික්මුණේ ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2. 16 ට අමෙරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නාසා මධ්‍යස්ථානයේ සිටයි. මේ දක්වා එහි මෙහෙයුම් ඉතා සාර්ථකව සිදුවෙමින් තිබෙනවා. 

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන ‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ.

‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාව කක්‍ෂගත කිරීමෙන් පසු දිනකට වට 15 ක් පෘථිවිය වටා භ‍්‍රමණය වනු ඇති. ඒ, තත්ත්පරයට කිලෝමීටර 7 යි දශම 6 ක වේගයෙන්. එහි ආයු කාලය වසර එක හමාරක්. එහෙත් වසර 5 ක් දක්වා එය කි‍්‍රයාත්මක වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.  ‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාව ප‍්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර දහසක් පමණ වන අතර එහි බර කිලෝග‍්‍රෑම් 1 යි දශම 1ක්. මෙය සැලකෙන්නේ ප‍්‍රමාණයෙන් කුඩා ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි. 

ශී‍්‍ර ලංකාව හා ඊට ආසන්න කලාපයේ ඡායාරූප ලබාගැනීම සහ පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබද අධ්‍යයනය කිරීම ‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාවේ අරමුණු අතර වනවා. අත්හදා බැලීම් කිහිපයක් ද මෙමගින් සිදු කිරීමට නියමිතයි. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිත කිරීමට නියමිත ලෝරා මොඩියුල් නම් දත්ත භාගත කිරීමේ තාක්‍ෂණය, චන්ද්‍රිකාව පාලනය කිරීම සදහා භාවිත කිරීමට නියමිත මෘදුකාංගයක්, චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත දෘඩාංග ක‍්‍රමය වෙනුවට මෘදුකාංග ක‍්‍රමයක් සහ කක්‍ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම මෙලෙස අත්හදා බැලීමට නියමිතව තිබෙනවා.

‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන  තරිදු දයාරත්න පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙක්. ඒ බව සිහිපත් කරමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් ද ‘‘රාවණා - වන් ’’ චන්ද්‍රිකාවේ සටහන් කිරීමට ද ඔහු කටයුතු කර තිබෙනවා. පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ නම එහි සටහන් කර ඇත්තේ පී සී සී ලෙසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම යූ ඕ පී ලෙස සටහන් කර තිබෙනවා.

දුලානි චාමිකා විතානගේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. තායිලන්තයේදී සහ ජපානයේදී ඇය උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.