Sunday, May 5, 2024

General line - 0115112241

පානදුරේ නිවසින් යකඩ බෝල සහ බැටරි හමුවේ - කාන්තාවක් සහ කුඩා දරුවෙක් ගැනත් තොරතුරු

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් 9 සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප‍්‍රදේශ කිහිපයකින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් දසදෙනෙකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි සඳහන්. 

කොළඹ නගරය තුළ බෝම්බ පිපිරීම්වලට අදාලව සිදුකරන විමර්ශනවලදී බෝම්බකරුවන් කොළඹ නගරයට රැගෙන ආ බව කියන වෑන් රථය ඊයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැණුුනා. එහි රියදුරද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

බෝම්බකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැක කෙරෙන පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාර ප‍්‍රදේශයේ ශෙරිෆ් මාවතේ නිවස සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා.

මේ වනවිට සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ නිවස මාස 03ක කුලී පදනම මත ලබා ගෙන තිබූ බවයි. ඒ, මසකට රුපියල් 40,000ක කුලී පදනම මතයි. අදාළ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි සොයා ගත් බව නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණා. 

මෙම නිවසේ කාන්තාවක් සහ ළමයෙකු ද සිට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලයේ සිදුවූ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් කුලී පදනම මත ලබා ගත් වෑන් රථයෙන් පැමිණ ඇත්තේ මෙම නිවසේ සිට බවයි පැවසෙන්නේ. ඔවුන් එලෙස පැමිණ ඇත්තේ පෙරේදා (20) දිනයේ බව ද අනාවරණ වී තිබෙනවා.