Sunday, May 5, 2024

General line - 0115112241

බස් සහ දුම්රිය ධාවනයට - රාජ්‍ය සේවකයින්ට ප්‍රමාද වී හෝ සේවයට එන්නැයි දැනුම්දීමක්

නිශාන් ද සිල්වා/ ලහිරු කපුගේ




ප‍්‍රමාද වී හෝ අද (22) දිනයේ රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සියලු රාජ්‍ය සේවකයින්ට දැනුම් දෙනවා. ඔහු පැවසුවේ අද දිනයේ නිවාඩු ලබා දීමක් සිදු කර නොමැති බවයි.

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප‍්‍රවාහන සැලසුම් සම්බන්ධයෙන් ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පැවසුවේ ලංගම බස් ධාවනය වීමේදී කිසියම් ප‍්‍රමාදයක් සිදුවිය හැකි බවයි. ප්‍රමාද වී හෝ ධාවන කටයුතු ආරම්භ කරන බවද පැවසුවා. එහිදී පැයක පමණ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු පෞද්ගලික බස් රථ ද නිසි පරිදි ධාවනය වනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

ප‍්‍රමාද වී හෝ දුම්රිය ගමන් සිදු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න ද ප‍්‍රකාශ කළා. සියලූ දුම්රියන්ගේ ආරක්ෂාව දැඩි කර ඇති බව ද, වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

දිවයින පුරා කි‍්‍රයාත්මක වන පරිදි පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (22) අලුයම 06.00න් අවසන් කෙරුණා. ඒ අනුව මේ වනවිට සාමාන්‍ය පරිදි කටයුතු සිදු කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.