Sunday, May 5, 2024

General line - 0115112241

කිසිවිටෙකත් මෙවැනි ප්‍රහාරයක් අපේක්ෂා නොකළ බව ආරක්ෂක ලේකම් කියයි

ඩිල්ෂාන් මඩවල




කල් ඇතිව අනතුරු ඇගවීම් ලැබී තිබියදීත් ප්‍රහාර වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම ඇතුළු ඊයේ සිදුවූ පිපිරවීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (22) විදෙස් මාධ්‍යවේදියෙකු වෙත ප්‍රතිචාර දැක්වුවා. ඒ, එම මාධ්‍යවේදියා කළ ප්‍රශ්ණ කිරීමකදීයි. 

සමහර දේවල් සිදුවිය හැකි බව තමන් දැනුවත්ව සිටියේදැයි, එහෙත් ශ්‍රී ලංකාව දැන් සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බවද, හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බවද, ඒ නිසා තමන්ටද කළ හැකි දේ සීමාසහිත බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. 
රාජ්‍ය බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු මොනවාදැයි මාධ්‍යවේදියා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්ණ කළා. ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් කුඩා එහෙත් සංවිධානාත්මක හා බලවත් සංවිධානයක් මෙම ප්‍රහාරවලට වගකිව යුතු බවයි. විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කළ නොහැකි බවද ඔහු පැවසුවා. එෆ් බී අයි නිලධාරීන්ද විමර්ශන සඳහා දැනටමත් එක්ව සිටින අතර, හෙට (23) දිනයේ සිට ජාත්‍යන්තර පොලීසිය ද මෙම විමර්ශන සඳහා එක්වනු ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ. 

යුද්ධය පැවැති වකවානුවේදී හෝ හෝටල් සඳහා ආරක්ෂාව සැපයීම රජය සිදු නොකළ බවද, හෝටල්වල ආරක්ෂාව සපයා ගනු ලැබුවේ ඔවුන්ගේම ආරක්ෂක සේවා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා. අනාගතයේදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් රජය කටයුතු නොකරන බවයි ඔහු පැවසුවේ. ඒ අනුව ඔවුන් විසින්ම ඔවුන්ගේ ආරක්ෂාව සපයා ගත යුතු බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා. 

මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේ දේවස්ථාන සඳහා හෝ ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට නොහැකිවූයේ මන්ද යන්නයි. බොහෝ දේවස්ථාන තිබෙන බවත්, තමන් දැනුම් දීම් කළ බවත්, කෙසේවෙතත් මෙතරම් විශාල ප්‍රමාණයේ ප්‍රහාරයක් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවත්, ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.