Thursday, May 16, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ආර්ථිකය තවත් කඩා වැටේ

දිල්ශාන් තුෂාර/සජිත් තිලකරත්න




සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ශ‍්‍රී ලංකාව බරපතල ආර්ථික කඩා වැටීමකට ද ලක්වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තයට දැනටමත් එහි බලපෑම දැනී ඇති බවයි ඔවුන් පැවසුවේ.  මේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ.

සංචාරක කර්මාන්තයේ සිදුවන කඩා වැටීමත් සමග ශ‍්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි සෙසු ආර්ථික ප‍්‍රශ්ණ ද තවදුරටත් තීව‍්‍ර වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පි‍්‍රයංග දුණුසිංහ. 

සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් විදේශ ආයෝජන කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ද මෙහිදී තවදුරටත් විස්තර කෙරුණා. ආචාර්ය පි‍්‍රයංග දුණුසිංහ පැවසුවේ මෙම බලපෑම්වලින් මිදීමට ශ‍්‍රි ලංකාවට අවම වශයෙන් වසර 05ක්වත් ගත වනු ඇති බවයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල නැවත අවප‍්‍රමාණය වීම, ඒ නිසා දේශීය නිෂ්පාදනවල පිරිවැය ඉහළ යාම සහ ආනයනවල මිල ඉහළ යාමද, සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ණය අර්බුදය තවත් උග‍්‍රවීම සහ බුද්ධි ගලනය ද අපේක්ෂා කිරීමට සිදුවන බව ආචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නා. 

 

ඇතිවිය හැකි මෙම ආර්ථික දුර්විපාක අවම කර ගැනීමට නම් නීතිය හා සාමය තහවුරු කර ශ‍්‍ර‍්‍රී ලංකාව සුරක්ෂිත රටක් බව නැවත ඉතා ඉක්මනින් ජාත්‍යන්තරය හමුවේ සහතික විය යුතු බවද, මෙම සංවාදයේදී අවධාරණය කෙරුණා. සංහිඳියාව වචනවලට සීමා නොකර සැබෑ ලෙස කියා පෑමද අවශ්‍ය වන බවයි ආර්ථික විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.