Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු මොහොමඩ් සහරාන් තවමත් නිදැල්ලේ

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන  මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසනවා. ෂැංගි‍්‍රලා හෝටලයේ ප‍්‍රහාරයට ඔහු බෝම්බකරුවෙකු ලෙස පැමිණි බවයි මීට පෙර වාර්තා වුණේ. එහෙත්, බෝම්බකරුගේ ඡායාරූප සහ මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් අතර සමානකමක් නොමැති බව දැන් අනාවරණ වී තිබෙනවා. 

මීට පෙර මාවනැල්ල ප‍්‍රදේශයේදී සිදුවූ බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීමේ සිද්ධීන්ටද මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා සම්බන්ධ වී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. තවත් දෙදෙනෙකු ඊට සම්බන්ධ වී ඇතැයිද ඔවුන් සහෝදරයන් බවටද තොරතුරු ලැබී තිබෙනවා. ඒ, 27 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සහීඞ් සහ 30 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රාහීම් සාදික් යන අයයි. ඔවුන් දෙදෙනාද තවමත් නිදැල්ලේ සිටින බවටයි ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.

සැකකාර මෙම සහෝදරයන් දෙදෙනාගේ පියා රෂීඞ් මොහොමඞ් ඊබ‍්‍රායීම් නමැති මවුලවිවරයෙක් බවටද තොරතුරු ලැබී තිබෙනවා. මාවනැල්ලේ පිහිටි නිවසක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මීට මාස කිහිපයකට පෙර පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණා. මෙම මවුලවීවරයා ඉස්ලාමීය අන්තවාදී වහාබ් දේශනද සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි විසින් කෑගල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දී ඇත්තේ මෙම මවුලවිවරයාගේ අන්තවාදී අදහස් ඇති පුත‍්‍රයන් දෙදෙනා පොලීසිය වෙත භාර දෙන බවයි. කෙසේවෙතත් මවුලවිවරයා විසින් ඔවුන් දෙදෙනා පොලීසිය වෙත භාරදෙනු ඇතැයි ආණ්ඩුකාරවරයා පසුව ප‍්‍රකාශ කර තිබෙනවා.