Monday, April 29, 2024

General line - 0115112241

බලධාරීන් මෙතෙක් පියවරක් නොගත් තවත් බුද්ධි අංශ වාර්තාවක්

හේමන්ත කහවලගේ




දේශපාලන අධිකාරිය විසින් නිසි සැලකිල්ලක් නොදැක්වූ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ තවත් බුද්ධි අංශ වාර්තාවක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණ වුණා.

බුද්ධි අංශ අදාළ වාර්තාවෙන් තොරතුරු අනාවරණය කර ඇත්තේ අන්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ සහ ඒවාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ඉහළ පෙලේ තනතුරු දරන පුද්ගලයින් සම්බන්ධයෙන්.

එක් එක් පුද්ගලයින් සිදුකරන නීති වීරෝධී කටයුතු සම්බන්ධයෙන් ද බුද්ධි අංශ අදාළ වාර්තාවෙන් තොරතුරු දන්වා ඇති බවයි වාර්තා වන්නේ. 

රාජ්‍ය ආයතනවල තනතුරු දරන්නන්ගේ මෙම නීති වීරෝධි කි‍්‍රයා සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශයේ නිසි බලධාරියාට බුද්ධි අංශ මීට පෙර තොරුතුරු ලබා දී තිබෙනවා. පෞද්ගලික ආයතනවල එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරුතුරු ලබා දී ඇත්තේ ඒවායේ හිමිකරුවන්ටයි. අදාල පෞද්ගලික ආයතන අතරට මූල්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතන ද අයත්. 

ඇතැම් නිලධාරීන් පත්කර තිබී ඇත්තේද  අන්තවාදීන්ගේ කි‍්‍රයා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. ඔවුන් දීර්ඝ කාලයක් අදාළ තනතුරුවල රැඳී සිට තිබෙනවා. ඒ හරහා ඇතැම් අන්තවාදී කොටස් එවැනි නිලධාරීන් සමග සබඳතා ගොඩනගා ගෙන ඇති බවද අදාළ වාර්තාවෙන් හෙළිකර ඇති බවයි පැවසෙන්නේ. 

අන්තවාදයට සහය ලබාදෙන එවැනි පුද්ගලයින් අදාල තනතුරුවලින් ඉවත් කරන ලෙසට බුද්ධි අංශ යෝජනා කර ඇති බවද සඳහන්. කෙසේ වෙතත් එලෙස බුද්ධි අංශ ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් නිසි බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මෙම සැකකටයුතු සහ නීති වීරෝධී කි‍්‍රයාවල නිරත වූ නිලධාරීන් දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණ වුණා.