Sunday, May 5, 2024

General line - 0115112241

අක්කරෙයිපත්තු වෙරළෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවේ : දෙහිවල සැකකරුගේ කාර්යාලයෙන් මිලියන 8කට අධික මුදල් හමුවේ




ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන විමර්ශන කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා. 

ඊයේ (09) දින කාත්තනකුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතම මුල්‍ය කටයුතු සිදුකළ බව කියන 60 හැවිරිදි සැකකරු සතුව තිබි බැංකු ගිණුම් කිහිපයකම තොරතුරු ලැබී ඇති බවත් මේ වන විට ඔහුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.

මේ අතර කොම්පඤ්ඤ විදිය පොලිසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ බුහාරි මොහොමඩ් රාෆික් නම් පුද්ගලයාගේ මරදානේ පිහිටි ඔහුගේ සේවා ස්ථානයේ නිල කාමරයේ තිබී රුපියල් ලක්ෂ 83කට අධික මුදලක් සහ රත්තරන් පවුම් 97ක් සොයා ගත් බව පොලිසිය පවසනවා. එමෙන්ම දෙහිවල ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් සුඛෝපභෝගී නිවසක් සහ බැංකු ගිණුම් කිහිපයක් පිලිබදව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් මෙම සැකකරු ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ අයෙක් බව මේ වන විට හෙළිවී ඇත. මෙම සැකකරුව රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

එමෙන්ම ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සයින්දමරදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවා ගෙන මියගිය අන්තවාදී සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් විසින් අක්කරෙයිපත්තු මුහුදු වෙරළේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද බුද්ධි අංශ විසින් ඊයේ සොයා ගත් බව පොලිසිය පවසනවා.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනාට ඇප ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මේ වන විට සිදුකරන විමර්ශනයට අදාලව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, එම විමර්ශනයේ අතුරු වාර්තාව ලැබීමෙන් පසු සිදුවීමට පොලිසියේ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔවුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.