Friday, May 10, 2024

General line - 0115112241

රතන හිමියන් උපවාසය නතර කරයි  

දිනුක් හේවාවිතාරණ / කේ ඩබ් නිශ්ශංක / කමල් සුරවීර




මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටදී ඉකුත් සිකුරාදා සිට උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (03) සිය උපවාසය අවසන් කළා. උන්වහන්සේ මෙලෙස උපවාසයක යෙදී සිටියේ එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් ද, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ද එම ධුරවලින් ඉවත් කරන්නැයි බල කරමින්.

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ බව කියන වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. උන්වහන්සේ අද සිය උපවාසය අවසන් කළේ එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි, ආණ්ඩුකාර ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ බවට ලැබුණ ලිඛිත දැනුම් දීමකින් පසුවයි. තමන් වහන්සේගේ සෙසු ඉල්ලීම් ද මෙලෙසම ඉටුවනු ඇතැයි උපවාසය අවසන් කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් උන්වහන්සේ විශ්වාසය පළ කළා. 

එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය අද දහවල් නිවේදනය කළා. උපවාසයේ යෙදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වෙත ඒ බව සැලකර සිටියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින්. 

ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ මෙම නිවේදනයෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය අවසන් කළේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය ද මධ්‍යයේයි. 

උපවාසය අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගිලන් රථයකින් මහනුවර ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබුවා. මේ වනවිට උන්වහස්ගේ තත්වය අසාධ්‍ය නොවන බවයි වෛද්‍යවරුන් පැවසුවේ. 

මේ අතර උපවාසයේ යෙදී සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මහනුවරට පැමිණියා. අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිපදෙනෙකු ද අද මහනුවරට පැමිණ උන්වහන්සේ බැහැදුටු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

...................................................................................

බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ධුරයන් ගෙන් ඉවත්වූ බවට වන ලිපි භාරදී ඇති බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිදුකළ දැනුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය නතර කර තිබෙනවා. 

මේ වන විට උන්වහන්සේව මහනුවර රෝහලට ඇතුලත් කර ඇති බව සදහන්.