Friday, May 10, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මෙවරත්

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




අනාරක්ෂිත බව පහව ගොස් රටට යහපතක් වේවායි සෙත් පතමින් නේත‍්‍රාභිවන්දනා ධාතු නමස්කාරය මෙවරත් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධාන කෙරෙනවා.

ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍යසිංහ ශ‍්‍රී සුගන්ධ කුටියේ වැඩසිටින බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කිරීමත් සමගයි. 

ලබන 07 වැනිදා අකුරැස්ස, දීගල, ශී‍්‍ර වර්ධන පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවන ධාතූන් වහන්සේ නමස්කාර කිරීම සඳහා එදින පස්වරු 1.00 සිට 09 වැනිදා අලුයම දක්වා සැදැහැවතුන්ට අවස්ථාව ලැබෙනවා.

ලබන 09 වැනිදා මෙම ධාතුන් වහන්සේ යක්කල, අභයසේකරරාම විහාරස්ථානය වෙත වැඩම කෙරෙනවා. අනතුරුව ධාතූන් වහන්සේ ලබන 11 වැනිදා මොණරාගල, බුක්කීරියගොල්ල, ශී‍්‍ර සුදර්මානන්ද විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

ලබන 13 වැනිදා සිට 17 වැනිදා දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ‍්‍රයේදී නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සිදු කෙරෙනවා. 

ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමස්කාර කරමින් නේත‍්‍රභිවන්දනා ධාතු නමස්කාරය හරහා රටට සෙත් පැතීමට සත් සිතින් එක්වන ලෙසයි සැදැහැවත් සියලු දෙනාට නෙත් එෆ්. එම්. රේඩියෝව ආරාධනා කර සිටින්නේ.