Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන සහ කොදෙව් ජයග්‍රහණ අවසන් මොහොතේ අහිමි වේ

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (23) පැවැති තරගයකදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 11කින්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම මෙහිදී ලකුණු 224කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත්වුණා. ලකුණු 225ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 213ක් පමණයි. තුන්ඉරියව් කී‍්‍රඩක මොහොමඞ් නබී සිය කණ්ඩායමට ජයග‍්‍රාහී බලාපොරොත්තුවක් ඇති කළ ද ඉන්දීය පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන ජයග‍්‍රහණයේ බලාපොරොත්තුව සුන් කළා.

අවසන් පන්දු වාරයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 16ක් පමණයි. මොහොමඞ් ෂාමි යැවූ එම පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් මොහොමඞ් නබි ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ජයග‍්‍රාහී සීමාවට තවත් ළං කළා. කෙසේවෙතත් මොහොමඞ් සාමි එම පන්දුවාරයේදී කඩුලු ති‍්‍රත්වයක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට සමත් වුණා. 

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුළු ති‍්‍රත්වයක් ලබා ගත් දෙවන ඉන්දීය පන්දු යවන්නා ලෙසයි මොහොමඞ් ෂාමි මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණේ. එක්දින කඩුළු ති‍්‍රත්වයක් ලබා ගත් සිව්වන ඉන්දීය පන්දු යවන්නා ලෙසද ඔහු මෙහිදී වාර්තා පොත් අතරට එක්වුණා. 

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවාසනාවන්ත පරාජයක් ලැබුවා.

මෙම තගරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 08ක් දැවී ලකුණු 291ක් රැස් කළා. එම ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 49ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 286ක් පමණයි.

කොදෙව් කණ්ඩායම ජයග‍්‍රාහී සීමාව ආසන්නයට රැගෙන ගිය කාලෝස් බ‍්‍රාත්වෙයිට් පන්දු 82කදී ලකුණු 101ක් රැස් කළේ හයේ පහර 05ක් සමගින්. අවසන් පන්දු 12දී  කොදෙව් කණ්ඩායමට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 08ක් පමණයි. එම අවස්ථාවේදී ඔවුන්ට එක් කඩුල්ලක් අතැතිව තිබුණා. ජේම්ස් නීශම් යැවූ 49වන පන්දුවාරයේ මිඞ් ඔන් කලාපයට ඉහළින් කාලෝස් බ‍්‍රාත් වේට් එල්ල කළ පහරක් උඩපන්දුවක් ලෙස රැක ගැනීමත් සමග කොදෙව් කණ්ඩායමේ ජයග‍්‍රාහී බලාපොරොත්තු සුන්ව ගියා. 

මෙම තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ නවසීලන්තය වෙනුවෙන් ලකුණු 148ක් රැස් කළ නායක කේන් විලියම්සන්.